තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායමට කැඳවයි

1578
@AFP PHOTO

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවයන් සිය රට වෙනුවෙන් දිනා දීමට විශාල මෙහෙයක් කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වන පාකිස්තානයේ ශාහිඩ් අෆ්රිඩි, ශොයිබ් මලික් හා ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා ලබන මස 31 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා තරග වදිනු ලබන ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙත කැඳවා ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – ලෝක ක්‍රිකට් තරගය එංගලන්තයේ දී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර ලබන..

එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉර්මා හා මරියා නම් සුළි කුනාටු නිසා හානි වූ කැරිබියානු ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත ගොඩනැංවීම හා ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමයි. බටහිර ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය විසින් මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සංවිධානය කරනු ලැබේ.

2009 වර්ෂයේ දී එංගලන්තයේ පැවති පළමු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනාගත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ශාහිඩ් අෆ්රිඩි, ශොයිබ් මලික් හා 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ශූරතාවය දිනා දුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට සිය කැමැත්ත පල කර ඇත. එම තරගයේ දී ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන ඉයන් මෝර්ගන් විසිනි.

“මෙම ස්ථානය (ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය) සමඟ මගේ ක්‍රිකට් දිවියේ අමතක කිරීමට නොහැකි සිදුවීම් රැසක් තිබෙනවා.1999 වර්ෂයේ ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සහ 2009 වර්ෂයේ පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් මහා තරග සඳහා මම මේ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කරලා තියෙනවා. කොදෙව්වන් සමඟ පැවැත්වෙන මේ තරගය ද ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ඉතාමත් වැදගත්.” යැයි ශාහිඩ් අෆ්රිඩි පැවසීය.

පෝතාස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ පුහුණුකරුවන්ගේ වෙනස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ හිටපු ප්‍රධාන පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස්..

“මෙවැනි අර්ථවත් හේතුවක් සඳහා දායක වීමට මා හටත් අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බටහිර ඉන්දීය කොදෙව්හි සැඩ කුණාටු දෙකක් විසින් සිදු කරන ලද හානිය ගැන අප අසා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක්ම ඒ නිසා දැඩි ලෙස හානියට පත්වුනා. ඒ ක්‍රීඩාංගණ අලුත්වැඩියා කිරීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීම අරමුණු කර ගනිමින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් එකට එක්වීම ඇත්තෙන්ම හොඳයි.” යැයි පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශොයිබ් මලික් පැවසීය.

තිසර පෙරේරා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “පසුගිය වසරේ ලාහෝර් හිදී පාකිස්තානයට එරෙහිව පැවති ක්‍රිකට් තරගාවලියේ දී මම ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. මා විසින් ඉදිරි මාසයේ දී පැවැත්වෙන මේ තරගය දෙස බලන්නේ මහත් උනන්දුවකින්. මෙය ලෝකයේ හොඳම දේ සමඟ උරෙන් උර ගැටෙන දුර්ලභ අවස්ථාවක්. විවිධ රටවල්වල සිටින බොහෝ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම සඳහා මගේ වෘත්තීමය ක්‍රිකට් දිවියේ වටිනාකම තවතවත් ඉහළ දමනු ඇත.”

“මම හිතන්නේ මේ තරගය පැවැත්වීමේ අරමුණ ඉතා හොඳ අරමුණක්. මා හට මේ සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව මමත් ඉතාමත් සතුටට පත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත ගොඩනැඟීම සඳහා ක්‍රීඩකයින් එකතු වී සිටීමත් ඉතාමත් සතුටට කරුණක්. බටහිර ඉන්දීය කොදෙව්වන් වසර ගණනාවක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර අපි මේ අවස්ථාවේ දී ඔවුන්ට සහය දැක්විය යුතුය.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ තිසර පෙරේරා පවසන ලදි.

මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කාර්ලොස් බ්‍රාත්වෙයිට් හට ලබා දී ඇත. මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස් ගේල්, කොල්කටා කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇන්ඩෘ රසල් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන එවින් ලුවිස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කරමින් කොදෙව් කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කරනු ලබයි.

ඉහත පැවසූ සුළි කුනාටු නිසා කැරිබියානු ක්‍රීඩාංගණ පහක් වන ඇන්යාගුලියා හි රොනල්ඩ් වෙබ්ස්ටර් පාර්ක්, ඇන්ටිගුවා හි ශ්‍රීමත් විව් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඩොමිනිකා හි වින්ඩ්සර් පාක් ක්‍රීඩාංගණය, ඒ ඕ. ශර්ලි ක්‍රීඩාංගණය සහ සාන්ත මාර්ටන්හි පිහිටි කැරිබල් ලිම්බර් බාල් පාක් යන ක්‍රීඩාංගණවලට දැඩි ලෙස අලාභ හානි සිදු විය. එම ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා යම් අරමුදලක් ගොඩනැංවීමේ අරමුණින් මේ තරගය පවත්වයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<