නෙදර්ලන්තය සමඟ තරගයට පෙර ශ්‍රී ලංකාවේ සූදානම

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලිය

1696
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලිය

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අතපොවන මානයට ළං වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සුපිරි 6 වටයේ පළමු උත්සාහය, නෙදර්ලන්ත ක්‍රීඩකයන් සමඟින් උරගා බැලීමට මේ මස 30 වැනිදා Bulawayo Queens Sports Club ක්‍රීඩාංගණයේ දී එකිනෙකා හමුවෙනවා.

තරග ඉතිහාසයේ නෙදර්ලන්තය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා හමුව ඇත්තේ තෙවතාවක දී පමණයි. එම සියලු අවස්ථාවල දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙනවා. අවසන් වරට දෙරටේ ක්‍රීඩකයෝ 2006 වසරේ දී නෙදර්ලන්තයේ දී තරග 2කින් යුත් තරගාවලියක් සඳහා එක් වෙන අතර එම තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

ඒ අනුව දෙරට ක්‍රීඩකයෝ නැවත එකිනෙකා හමුවෙන්නේ වසර 17කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වෙන්නේ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ ම අගය ලබා ගත් කණ්ඩායම ලෙසයි. එමෙන් ම පෙර වටයේ දී අපරාජිතයන් සේ සිටීමට ද ඔවුන් සමත් වුනා. මේ දේවල් ඔවුන්ගේ මෙම වටයේ තරග වෙනුවෙන් කදිම උත්තේජනයක් සපයන කාරණා වෙනවා.

එම කරුණු සමඟින් මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කෙරෙහි තැබෙන විශ්වාසය ද සුළු-පටු නැහැ. ඔවුන්ට ලෙහෙසියෙන් ම මෙම වටයේ ජයග්‍රාහකයන් විය හැකි බවටයි තැන තැන පැවසෙන්නේ.

එහෙත් ක්‍රිකට් යනු විශ්වසනීය ක්‍රීඩාවක් නොවේ. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රමුඛ බලාපොරොත්තුව විය යුත්තේ ලැබෙන මුල් ම අවස්ථාවේ දී ම ප්‍රතිවාදියා අඩපණ කිරීමයි.

මේ අඩපණ කිරීමේ දී පිතිකරුවන් ලෙසින් නැවත වතාවක් දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම කෙරෙහි තැබෙන විශ්වාසය ප්‍රමුඛයි.

කුසල් මෙන්ඩිස් ද මෙම ලැයිස්තුවේ සිටිය යුතු ක්‍රීඩකයෙක් වූවත්, ඔහුගේ දක්ෂතා විශ්වසනීය තත්ත්වයේ නොවීමක් ද පෙනෙන්නට තිබෙනවා. කුසල් එක් තරගයක දී ලකුණු අතරට පිවිසිය හොත්, තවත් තරග දෙක තුනක දී ඔහුගෙන් නිසි සේවයක් කණ්ඩායමට ලැබෙන්නේ නැහැ. ඔහුට මේ තත්ත්වයේ වෙනසක් වහා ම කළ හැකි නම් එය කණ්ඩායමට වඩාත් වාසි සහගත වනු නියතයි.

එමෙන් ආරම්භක තරගවල දී අසාර්ථක වූව ද, මේ වන විට යම් තරමකින් සාර්ථක පිතිකරුවෙක් ලෙසින් කලඑලි බැස තිබෙන ධනංජය ද සිල්වා ලබා දුන් විශ්වාසය ද කණ්ඩායමට වඩාත් වැදගත් වෙනවා.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ මේ වන විට විශ්වාස කළ නොහැකි එක ම පිතිකරුවා බවට පත්ව සිටින්නේ නායක දසුන් ශානකයි. ඔහු නිමා වූ තරග 4ක ඉනිම් 3ක දී පිටියට පිවිස ලබාගෙන ඇත්තේ පන්දු 11ක දී ලකුණු 6ක් පමණයි.

නායකත්වය හේතුවෙන් ම පමණක් මෙම දත්ත සමඟින් තව දුරටත් කණ්ඩායම හා එක් ව සිටීමට වාසනාවන්ත වී සිටින දසුන්ට මෙම තරගයේ සිට හෝ තම විශ්වාසය කණ්ඩායමට ලබා දිය යුතු වෙනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කණ්ඩායමේ වඩාත් විශ්වසනීය ක්‍රීඩකයා බවට පත්ව සිටින වනිඳු හසරංග, ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එන ප්‍රතිවාදීන්ගේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා ලෙසින් තව දුරටත් තම ආධිපත්‍ය රැක ගැනීමට සමත්ව තිබීම විශිෂ්ටයි.

එමෙන් ම දඟපන්දු යවන්නෙක් ලෙසින් ඔහුට අනර්ඝ සහයෝගයක් ලබා දෙන මහීෂ් තීක්ෂණ ද, වේගපන්දු යවන්නන්ගේ භූමිකාව නිසි ලෙස වටහා ගනිමින් ක්‍රියාත්මක ලහිරු කුමාර සහ කසුන් රාජිත ද කණ්ඩායමේ සංකලනයට නිසි සාධාරණයක් ඉටු කිරීම ඇගයිය යුතුයි.

එබැවින් මෙම තරගයේ දී ද බොහෝ විට පෙර තරගයට ම ක්‍රීඩා කළ කණ්ඩායම ම කැඳවෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

නෙදර්ලන්තය සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, කසුන් රාජිත.

නෙදර්ලන්ත කණ්ඩායමේ සූදානම

නෙදර්ලන්තය මෙම තරගය සඳහා එක් වෙන්නේ සුපිරි 6 වටයේ සිව්වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙමින්. ඒ අනුව ඔවුන් මෙම වටයට ගෙන ආ දළ ලකුණු ලබා ගැනීමේ අගය -0.739ක්.

කෙසේ වෙතත් සුපිරි 6 වටයේ දී නෙදර්ලන්ත කණ්ඩායමට ඉහළට පිවිසීමේ අවස්ථාවක් නොවනු ඇතැයි විශ්වාස කෙරේ. නමුත් ඔවුන් පළමු වටයේ දී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 374ක් හඹා ගොස් එය ඉක්මවා යෑමට බැරි වූ තැන සුපිරි පන්දුවාරයේ දී දැවැන්ත ප්‍රහාරයකට ලක් කරමින් ජයග්‍රහණය කළ අභිමානයෙන් සිටින කණ්ඩායමක් බැව් ද අමතක කළ නොහැකි.

එමෙන් ම ඔවුන් පෙර වටයේ දී ඇමෙරිකාව සහ නේපාලය පහසුවෙන් පරාජය කිරීමටත්, පරාජිත එක ම තරගය වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 300 සීමාව පසුකිරීමට සමත් වීමත් ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් අවධානයට ලක් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන නෙදර්ලන්ත කණ්ඩායම: Scott Edwards (නායකයා සහ කඩුලු රකින්නා), Vikramjit Singh, Max O’Dowd, Wesley Barresi, Bas de Leede, Teja Nidamanuru, Saqib Zulfiqar, Logan van Beek, Aryan Dutt, Clayton Floyd / Shariz Ahmad, Vivian Kingma.

අවධානය යොමු කළ යුතු නෙදර්ලන්ත ක්‍රීඩකයෝ

Scott Edwards

26 වැනි වියේ පසුවෙන Scott Edwards මේ දක්වා නෙදර්ලන්ත කණ්ඩායම 14 වතාවක් මෙහෙයවා ඇති අතර ඉන් ජයග්‍රහණ වාර්තා කිරීමට හැකි වෙන්නේ තරග 3ක දී පමණයි. අනෙකුත් තරග අතරින් තරග 10ක් පරාජය වෙද්දී, එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් කර ගැනීමට ඔහු සමත් වෙනවා.

පෙර වටයේ නිමා වූ තරග 4ක ඉනිම් 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 217ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 108.5ක්. එබැවින් නෙදර්ලන්ත පිතිකරණය මොහු වටා තීරණය වෙනු ඇතැයි සිතිය හැකි.

කෙසේ වෙතත් Scott Edwards මේ දක්වා එක්දින තරග 34ක ඉනිම් 31ක දී ලකුණු 1115ක් සහ කඩුල්ල පිටුපස සිටමින් දවා ගැනීමේ 36කට දායකත්වය දැක්වීමට සමත් ව සිටිනවා.

Max O’Dowd

29 හැවිරිදි වියේ පසුවෙන මේ දකුණත් ආරම්භක පිතිකරුවා නෙදර්ලන්ත පිතිකරු ලැයිස්තුවේ විශ්වාසවන්තයායි. සිම්බාබ්වේ කණ්ඩායමට සහ නේපාල කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතක ද සමඟින් ඔහු මෙම තරගාවලියේ මෙතෙක් වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 211ක්. එහි සාමාන්‍ය 52.75ක්.

ඔහු එක්දින තරග ඉතිහාසයේ තරග 29කට මුහුණ දෙමින් අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1070ක් ලබා සිටිනවා.

Teja Nidamanuru

28 හැවිරිදි වියේ පසුවෙන Teja Nidamanuru එක්දින පිටියට පිවිස මේ ගත කරන්නේ පළමු වසරයි. මේ කාලය තුළ එක්දින තරග 16කට පමණක් සහභාගී වී ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 489ක්. ඊට ශතක 2ක් එක් කිරීමට ඔහු සමත් වෙනවා.

ඉන් එක් ශතකයක් මෙම තරගාවලියේ පළමු වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන අතර එය ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගන්නවා.

එම ශතකයත් සහ ඇමරිකා කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතකයත් සමඟින් ඔහු මේ දක්වා මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 172ක් වන අතර එහි සාමාන්‍ය 57.33ක් ලෙසින් දැක්වෙනවා.

Bas de Leede

23 හැවිරිදි වියේ පසුවෙන Bas de Leede අයර්ලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි. ඔහු මේ දක්වා එක්දින තරග 27ක ඉනිම් 26ක දී ලකුණු 562ක් සහ කඩුලු 16ක් ලබා සිටිනවා.

නිමා වූ තරගාවලියේ දී ලකුණු 82ක් සහ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

Vikramjit Singh

පංජාබ් හී උපත ලැබූ 20 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Vikramjit Singh නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි. ඔහු මෙම තරගාවලියේ නිමා වූ තරග 4 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතකය ද සමඟින් ලකුණු 163ක් ලබා ඇති ඔහු දකුණතින් මද වේගපන්දු යවමින් කඩුලු 4ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මෙතෙක් එක්දින තරග 21කට මුහුණ දී ඇති ඔහු අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 645ක් ලබා ඇති අතර කඩුලු 5ක් ද ඒ අතර තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලියේ සියලු තොරතුරු සැණෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<