ශ්‍රී ලංකා ක්‍රිකට් සතු වාර්තාවක් ඉන්දියාව සම කරයි

955

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ නායකත්වය Shikhar Dhawan දැරීමත් සමඟ වසරක් තුළ වැඩිම නායකයින් යොදා ගත් රට ලෙස ශ්‍රී ලංකාව සතු වූ වාර්තාව ඉන්දියාව විසින් සම කර තිබෙනවා.

මෙම වසර තුළ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ 7වැන්නා Shikhar Dhawan වන අතර 2017 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද හත් දෙනෙකු විසින් දරා තිබුණා.

Shikhar Dhawanට පෙර මෙම වසර තුළ දී Virat Kohli, KL Rahul, Rohit Sharma, Jasprit Bumrah, Rishabh Pant සහ Hardik Pandya කණ්ඩායමේ නායකත්වය දරා තිබූ අතර 2017 වසරේ දී ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, රංගන හේරත්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් ලෙස කටයුතු කළා.

වසර ආරම්භයේ ඉන්දීය නිත්‍ය නායකයා වූ Virat Kohli ආබාධයකට ලක් වීම නිසාවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේ නායකත්වය KL Rahul විසින් දැරූ අතර පසුව Kohli සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉවත් වීම නිසාවෙන් Rohit Sharma එක් දින නායකයා ලෙස කටයුතු කළා.

එම තරගාවලියේ දී Rohit Sharma ආබාධයකට ලක් වීම නිසාවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලියේ නායකත්වය දැරුවේ KL Rahul විසිනුයි.

ඉන්පසුව දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය දැරීමට සිටි KL Rahul ආබාධයකට ලක් වීම නිසාවෙන් එම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වුනේ Rishabh Pant හටයි.

ඉන්පසුව පැවති අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් එංගලන්ත ටෙස්ට් තරගය වෙනුවෙන් කාර්ය බහුල වූ නිසා කණ්ඩායමේ නායකත්වය Hardik Pandya විසින් දැරුවා.

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගය ආරම්භයට පෙර කණ්ඩායමේ නිත්‍ය නායක Rohit Sharma හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වුනේ Jasprit Bumrah හටයි.

Rohit Sharma එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට නැවත එක් වූ නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ඔහුව විවේක ගන්වා එහි නායකත්වය Shikhar Dhawanට ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේ මෙම වසර තුළ හත් වැනි නායකයා නම් කරමිනුයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට පසුව ඕස්ට්‍රේලියාව (2021), සිම්බාබ්වේ (2001) සහ එංගලන්තය (2011) යන කණ්ඩායම් අදාළ වසරවල නායකයින් හය දෙනෙකු විසින් මෙහෙයවා තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<