IPL කණ්ඩායම් ඩැහැගත් දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගය

1138

දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන නව විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් කිහිපයක්ම IPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා.

කණ්ඩායම් හිමිකරුවන්ගේ ලංසු තැබීම පසුගිය ජූලි 13 වැනි බදාදා නිමාවට පත් වුනා. Cricbuzz වාර්තා කරන අන්දමට Mumbai Indians හිමිකරු Mukesh Ambani, Chennai Super Kings හිමිකරු N Srinivasan, Delhi Capitals කණ්ඩායමේ හිමිකරු Parth Jindal, SunRisers Hyderabad කණ්ඩායමේ Maran පවුල, Lucknow Super Giants කණ්ඩායමේ Sanjiv Goenka හා Rajasthan Royals කණ්ඩායමේ Manoj Badale කණ්ඩායම් වෙත ලංසු තබා තිබෙනවා.

මේ මාසය අවසානයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායම්වල හිමිකරුවන් නම් කිරීමට නියමිතව තිබෙනවා. එසේ වුනත් Cricbuzz වාර්තා කර සිටින්නේ IPL කණ්ඩායම් හිමිකරුවන්ට ලංසු තැබීමේ ප්‍රතිඵල මේ වන විටත් දැනුම් දී තිබෙන බවයි. ඔවුන් සියලු දෙනාට කණ්ඩායම් හිමිව ඇති බවත්, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය නගර ගැන විමසා ඇති බවත් Cricbuzz වාර්තා කරනවා.

Mumbai Indians කණ්ඩායම Cape Town මූලික කර ගනිමින් සිය කණ්ඩායමත්, Chennai Super Kings කණ්ඩායම Johannesburg මූලික කර ගනිමින් සිය කණ්ඩායමත් නම් කර තිබෙනවා. Delhi Capitals කණ්ඩායමේ හිමිකරු Jindal, Pretoria හි Centurion මූලික කරගෙන Pretoria Capitals කණ්ඩායම පිහිටුවීමට නියමිතයි.

පසුගිය වසරේ Lucknow කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගත් Sanjiv Goenka, Durban කණ්ඩායමේ හිමිකාරිත්වය ද හිමි කරගෙන තිබෙනවා.

SunRisers Hyderabad හිමිකරුවන් Port Elizabeth තෝරා ගනිද්දී, Rajasthan Royals හිමිකරුවන් Paarl නගරය තෝරා ගෙන තිබෙනවා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Kevin Pietersen ප්‍රමුඛ ආයෝජකයින් ද දකුණු අප්‍රිකානු නව විස්සයි විස්ස ලීගයේ කණ්ඩායමක් සඳහා ලංසු තබා තිබුනත්, ඔවුන්ට කණ්ඩායමක් හිමිව නැහැ.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<