පන්දුව ඔපදැමීමේ නීති ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ අප්‍රසාදය

157
Getty Images

ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇරඹීමේ ක්‍රියාවලිය තරග නරඹන්නන්ගෙන් හුදකලා කිරීම, ක්‍රීඩකයන් නිරෝධායනයට ලක් කිරීම වැනි කටයුතු සිදු කරමින් ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන නිසාවෙන් පන්දු ඔපදැමීමේ දී ඛේටය භාවිතා කිරීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැති බව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ශෝන් පොලොක් පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

>> කොරෝනා මැද ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයන් වැඩ අරඹයි

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස ඛේටය මගින් පන්දුව ඔප දැමීම තහනම් කරමින් පන්දුව ඔප දැමීමට දහඩිය පමණක් යොදා ගන්නා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව මගින් පන්දු යවන්නන්ට උපදෙස් දී තිබුණු අතර මෙම තීරණය මගින් පන්දු යවන්නන්ට අපහසුතාවයකට මුහුණ පෑමට සිදු වන බව පවසමින් බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.

එය පිළිබඳව අදහස් දක්වමින් හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ශෝන් පොලොක් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන් සියලූම දෙනාට රෝගය නොමැති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව තරගය පැවැත්වෙන බැවින් පන්දුව ඔපදමන ආකාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්විය යුතු බවයි 

“ක්‍රීඩකයන් සති දෙකක කාලයක් මුළුල්ලේ පරික්ෂාවට ලක් කරමින් එම කාලය ඇතුළත ඔවුන්ගේ ශරීරයේ වෙනස්වීම් පවා නිරීක්ෂණය කරනවා. ඒ මගින් සියලූම ක්‍රීඩකයින් සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරගන්න පුළුවන්.

ඒ කාලය තුළ දී ක්‍රීඩකයන්ට රෝග ලක්ෂණ හෝ රෝගී තත්වයක් නොමැති නම් පන්දුව ඔප දැමීම පිළිබඳව එතරම් සිතන්නට දෙයක් නැහැ, ක්‍රීඩකයන් සම්පූර්ණයෙන් ආරක්ෂිත වටපිටාවකට සිටීමේ දී වයිරසය ව්‍යාප්ත වීමට ඉඩක් නැති නිසා සාමාන්‍ය ක්‍රියාකාරකම් ඒ විදියටම කරගෙන යන්න පුළුවන්.”

>> IPL සත්කාරකත්වය වෙනත් රටකට හිමිවන ලකුණු

ශෝන් පොලොක්ට අමතර බොහෝ වේගපන්දු යවන්නන් මෙම තීරණය පිළිබඳව අප්‍රසාදය පල කර ඇති අතර මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියානු වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය මගින් පන්දු යවන්නන් ඉතාමත් අපහසුතාවයට පත්වන බැවින් ඛේටය භාවිතා කිරීමට හෝ එසේත් නොමැති නම් වෙනත් සාර්ථක ආදේශක ද්‍රව්‍යක් පන්දුව ඔප දැමීමට ලබා දිය යුතු බවයි. 

මීට අමතරව මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු කොදෙව් ක්‍රීඩක මයිකල් හෝල්ඩින් ප්‍රකාශ කර සිටියේ පන්දු යවන්නෙකු පන්දුව අතට ගත් විගසම පන්දුව මත ඛේටය හෝ දහඩිය ආලේප කරමින් ඔප දැමීමට හුරු වී ඇති බැවින් මෙය පන්දු යවන්නන් හට ඉතා දුෂ්කර විය හැකි බවයි.

“මේ අවස්ථාවෙදි අපි කතා කරන්නේ ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ ක්‍රීඩා කරන එක ගැනයි, ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට අවසර නැති නිසා ක්‍රීඩා කරන තැන් සති දෙකකට කලින් පිටස්තර පුද්ගලයින්ට වසා දමලා ඉන්න සියලූම දෙනාව රෝගය නොමැති බවට තහවුරු කරනවා නම් පන්දුව ඔප දමන එක ගැන මෙතරම් මහන්සි වෙන්න ඕනේ නෑ. මෙම රෝගය ක්‍රීඩකයෙකුට ආසාදනය වෙලා නැහැ කියලා තහවුරු කරගන්න සති දෙකක කාලයක් මදි නම් ක්‍රීඩාව ආරම්භ නොකළ යුතුයි.”

අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ මීළඟ රැස්වීම හෙට (10) පැවැත්වීමට නියමිත අතර එහි දී මෙම සියලූම කරුණු සැලකිල්ලට ගනිමින් පන්දුව ඔපදැමීමේ දී ඛේටය භාවිතා කිරීම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<