IPL සත්කාරකත්වය වෙනත් රටකට හිමිවන ලකුණු

422

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් කල් දැමූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවෙන් පිටත දී පැවැත්වීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

>> එංගලන්තයට යන කොදෙව් ටෙස්ට් සංචිතයට නවකයින් කිහිපයක්

තරගාවලිය මෙම වසරේ මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර කොරෝනා වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසාවෙන් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කරන ලදි.

තරගාවලියේ ඉදිරි තීරණ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කර සිටියේ මේ වන විට තරගාවලිය මෙම වසරේ දී පැවැත්වීමට හැකි ආකාරයන් සියල්ල  පිළිබඳව ක්‍රිකට් පාලක කමිටුව තම අවධානය යොමු කර ඇති බවයි.

“ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරගාවලිය පැවැත්වීමට හැකි සියලූම අවස්ථාවන් ගැන සලකා බලමින් සිටින්නේ, එම සියලුම අවස්ථාවන් සලකා බැලීමෙන් පසුවත් තරගාවලිය පවත්වන්න නොහැකි වුවහොත් අවසාන විකල්පය විදියට තරගාවලිය ඉන්දියාවෙන් පිටත පවත්වන්න අවධානය යොමු වෙලා තියෙනවා.”

“අපට තරගාවලිය පැවැත්වීමට හැකි එකම විදිය එය නම් අප එම විකල්පයට යන්න සූදානම්. අප මීට පෙරත් තරගාවලිය එලෙස ඉන්දියාවෙන් පිටත පවත්වලා තියෙන නිසා අපට එය පහසුවෙන්ම කළ හැකි දෙයක්, නමුත් අපේ ප්‍රධාන අරමුණ තරගාවලිය ඉන්දියාව තුළ දී ම පැවැත්වීමයි” 

“මේ පිළිබඳව වැඩිදුරට සාකච්ඡා කරන්න කලින් අප මෙම වසරේ පැවැත්වීමට නියමිතව තියෙන පන්දුවාර 20 ලෝක කුසලානය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් පසුවනවා. ඒත් මට නිවැරදිව කියන්න පුළුවන් මේ වන විට තරගාවලිය පිළිබඳව කිසිදු තීරණයක් අරගෙන නැහැ කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

>> ශ්‍රී ලංකා සිංහයින් නැවතත් ක්‍රීඩා පිටියට

මෙම තරගාවලිය යම් හෙයිකින් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වීමට සිදු වුවහොත් එලෙස පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර 2009 වසරේ සම්පූර්ණ තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී ද, 2014 වසරේ තරගාවලියෙන් කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද පැවැත්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<