කිචිබිචි ගෑවට කඩුලු එන්නේ නෑ මිත්‍රයා – අළුබඳුනේ ගිනිපුපුරු

5091

2023 අළුබඳුන තරගාවලිය මේ වෙද්දී සෑහෙන උණුසුම් වෙලා තියෙන්නේ. පිටිය මැද වගේම ඉන් පිටත දීත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්, හිටපු ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන් සියලු දෙනාම එකිනෙකා ගැටෙන ස්වරූපයක් පෙන්නුම් කෙරෙන්නේ.  

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී නිමාව දැකපු දෙවැනි අළුබඳුන ටෙස්ට් තරගයේ දී මිචෙල් ස්ටාක් රැකගන්නට ගිය උඩපන්දුවත්, ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා ඇලෙක්ස් කේරී විසින් ජොනී බෙයාස්ටෝ දුවද්දී දවා ගත් ආකාරයත් පසුගිය සතියේ අළුබඳුන තරගාවලිය වඩාත් උණුසුම් කළා. 

අද අපි කියන්න යන්නේ ශතවර්ෂයකටත් එහා ඇදී යන අළුබඳුන සටනේ ඕස්ට්‍රේලියානුවන් හා එංගලන්ත ක්‍රීඩකයින් එකිනෙකා වාචිකව ගැටුණු රසවත් සිදුවීම් කිහිපයක්. 

කිචිබිචි ගෑවට කඩුලු එන්නේ නෑ මිත්‍රයා! 

2010/11 අළුබඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ පර්ත් නුවර වැකා පිටියේ දී. මේ තරගයේ පන්දුවට මුලින් පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලබාගෙන සිටියා. 

ඒ මොහොතේ පන්දු යවමින් සිටියේ  එංගලන්ත කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන්. ඕස්ට්‍රේලියානු අගපෙළ කඩුලු ඉක්මනින් දවා ගැනීමට නොහැකි වුණු නිසා දැඩි ලෙස කෝපයට සහ කලකිරීමට පත්ව සිටි ඇන්ඩර්සන් නිතරම යමක් මුමුණමින් පන්දු යවන ආකාරය දැකගන්න පුළුවන් වුනා. 

මේ අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියේ මිචෙල් ජොන්සන් සමඟ රයන් හැරිස්. 

රයන් හැරිස් වෙත පන්දුවක් එවීමට ඇන්ඩර්සන් සූදානම් වූ එක්තරා අවස්ථාවක පන්දු යවන්නාගේ අන්තයේ සිටි මිචෙල් ජොන්සන් සමච්චලයට මෙන් මෙලෙස පැවසුවා. 

“ඔබ මොකද කිචිබිචි ගාන්නෙ මිත්‍රයා? ඔබට කඩුලු එන්නේ නෑ නේද?

ජොන්සන්ගේ එම වචන අසාගෙනම පන්දු යැවීමට දිව ආ ඇන්ඩර්සන් ඊළඟට යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රයන් හැරිස් දැවී ගියා. 

එම දැවී යාමත් සමඟින් ඇන්ඩර්සන්, ජොන්සන් දෙසට හැරී නිශ්ශබ්ද වන ලෙස අතින් සංඥා කරමින් කඩුල්ල සමරන්නට වුනා.  

ඇන්ඩර්සන්ගේ මේ ක්‍රියාවට ජොන්සන් පිළිතුරු දුන්නේ අපූරු ආකාරයකින්. එංගලන්ත පළමු ඉනිමේ ලකුණු 38කට කඩුලු 6ක් දවා ගනිමින් එංගලන්ත ලකුණු 187කට සීමා කරන්නට ජොන්සන් සමත් වුනා. 

ඉන් නොනැවතුණු ජොන්සන් එංගලන්ත දෙවන ඉනිමේ ලකුණු 44කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ලකුණු 62ක් රැස් කරමින් සහ තරගය පුරාවටම කඩුලු 9ක් දවා ගත් ජොන්සන් තරගයේ වීරයා බවට නම් කර තිබුණා. 

ජොන්සන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් පර්ත් ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට හිමි වුනේ ලකුණු 267ක දැවැන්ත ජයක්.  

මගේ පවුලේ නම් දක්ෂතම ක්‍රීඩකයා මම 

2001 අළුබඳුන තරගාවලියේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි ටෙස්ට් තරගයේ දී එංගලන්ත වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට මද වේගපන්දු යවන ක්‍රීඩක ජිමී ඔර්මන්ඩ් සමත් වුනා. 

මේ තරගයේ දී ඔර්මන්ඩ් පිතිකරණයට පිටියට පිවිසි අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාක් වෝ නවක ක්‍රීඩකයා ඇවිස්සීමට මෙලෙස යමක් පැවසුවා. 

මිත්‍රයා, උඹ මොකක් කරන්න ද ආවේ? උඹ එංගලන්තයට ක්‍රීඩා කිරීමට තරම් දක්ෂයෙක් වෙන්න විදිහක් නම් නැහැ.”  

කෙසේ වෙතත් මාක් වෝගේ වාග් ප්‍රහාරය හමුවේ කලබල නොවූ ඔර්මන්ඩ් මෙසේ පිළිතුරු දුන්නා. 

අඩුම ගානේ මගේ පවුලේ උදවියගෙන් දක්ෂතම ක්‍රීඩකයා මම.”

ඔර්මන්ඩ් මේ ප්‍රකාශය කළේ මාක් වෝගේ නිවුන් සොයුරා ස්ටීව් වෝ, මාක්ට වඩා දක්ෂ ක්‍රීඩකයෙකු යන්න ව්‍යාංගාර්ථයෙන් පවසමින්. 

රෝමේට ගියාම රෝමන්කාරයෙක් වගේ ඉන්න පුරුදු වෙන්න. 

මයිකල් ඇතර්ටන් කියන්නේ එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙක්. ඇතර්ටන් කියන්නේ හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත ක්‍රීඩකයෙක්. 

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඇතර්ටන් ගොඩක් වෙලාවට ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයේ. 

1989 අවුරුද්දේ ටෙස්ට් වරම් දිනා ගත්ත ඇතර්ටන් මුල්ම වතාවට ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදෙන්නේ 1990-91 අළුබඳුන තරග සමය වෙනුවෙන්. 

මේ තරග සංචාරයේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගය අතරතුර ඇතර්ටන්ගේ පිත්තේ වැදිලා ගියපු උඩපන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ඉයන් හීලී පහසුවෙන් රැකගන්නවා. ඕස්ට්‍රේලියානුවන් මහ හඬින් ඉල්ලීමක් කළ නමුත් පිටියේ සිටි විනිසුරුවරයා ඇතර්ටන් නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස සංඥා කළා. 

දිනය අවසානයේ ඇතර්ටන් කිට්ටුවෙන් ක්‍රීඩක විවේකාගාරයට යන ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා ඉයන් හීලී මෙහෙම කිව්වා. 

“උඹ මහ තක්කඩි හොරෙක්.” 

ඇතර්ටන් කියන්නේ සෑහෙන කූල් ඇල්වතුරත් නිවලා බොන ජාතියේ මිනිහෙක් වුනාට හොඳට වචනවලින් හරඹ කරන්න පුළුවන් ජාතියේ මිනිහෙක්. මම කලින් කිව්වා වගේ ඇතර්ටන්ගේ අධ්‍යාපන පසුබිමත් මේකට බලපානවා. 

හීලි කියපු කතාවට ඇතර්ටන් ඇඟට පතට නොදැනෙන්න මෙහෙම කිව්වා. 

රෝමේට ගියාම රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕන කොල්ලෝ.” 

බිරිඳ නම් හොඳින් 

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉයන් බොතම් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින රොඩ්නි මාෂ් දෙදෙනා අතර කිට්ටු මිතුදමක් ඇති බව නොරහසක්.  

එතරම් තද මිතුදමක් පැවතියත් ඔවුන් පිටියේ දී එකිනෙකා හමු වූ විට, ඔවුන් දැඩි තරගකරුවන් ලෙස පෙනී සිටීමට වග බලා ගත්තා. 1982-1983 අළුබඳුන තරග වාරයේ දී සිදු වූ අපූරු වාචික හුවමාරුවෙන් ඒ බව වඩාත් පැහැදිලි වුනා. 

එදා බොතම් පිටියට යද්දී මාෂ් ඔහුව පිළිගත්තේ සරදම් සහගත ප්‍රකාශයකින්.  

කොහොමද ඔබේ බිරිඳ සහ මගේ දරුවන්ට? 

ක්ෂණිකවම මාෂ්ට ප්‍රතිඋත්තර දුන් බෝතම් මෙසේ පැවසුවා. 

‘බිරිඳ නම් හොඳින්, හැබැයි දරුවන් නම් මන්ද මානසිකයි’  

බ්‍රෙට් ලී එනකල් බලන් හිටපන්! 

2002-03 ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ එංගලන්ත අළුබඳුන සංචිතයේ ඇලෙක්ස් ටියුඩර්ට ස්ථානයක් වෙන්වූයේ නැහැ. නමුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ආබාධ හේතුවෙන් ටියුඩර් නැවත සංචිතයට එක් කෙරුණා. 

එවර තරගාවලියේ වැකා ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ටියුඩර් විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී ඉලක්ක කරගනිමින් බවුන්සර් වරුසාවක් එල්ල කරන්නට වුනා. මේ අවස්ථාවේ දී ලී සමඟ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටියේ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ. 

උඹ ඉන්නේ වැකා ක්‍රීඩාංගණයේ. ඒ වගේම උඹ එවන්නේ 135 පන්දු. ඉවසලා ඉඳපන් උඹට බිංගා (බ්‍රෙට් ලී) ගෙන් 160 ඒවා ලැබෙයිබැරිම තැන ඕස්ට්‍රේලියානු නායකයා කටහඬ අවදි කළා.

එංගලන්ත දෙවැනි ඉනිමේ දී ඕස්ට්‍රේලියානු නායකයා ටියුඩර් කඩුල්ලට පැමිණෙන තුරු බ්‍රෙට් ලී පන්දු යැවීමට නොකැඳවා රඳවා සිටින්නට තීරණය කර තිබුණා. ටියුඩර් කඩුල්ලට පැමිණි වහාම දෙවැනි නව පන්දුව ලබා ගත් වෝ එය බ්‍රෙට් ලීට ලබා දී ටියුඩර් ගැන බලාගන්නා ලෙස පැවසුවා. 

මෙසේ බ්‍රෙට් ලී එවූ එක් බවුන්සර් පන්දුවක් ආරක්ෂිත හිස්වැස්මේ දැලට ඉහළින් ගොස් ටියුඩර්ගේ වම් ඇසට උඩින් වැදුණා. එය බොහොම භයානක අනතුරක් වුනා. එය ඇලෙක්ස් ටියුඩර් නම් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය වුනා. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<