ශ්‍රී ලංකාවට අහිමි වූ රසල් ආනල්ඩ් නම් නායකයා

12196
cricket
©AFP

ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. විවිධ ගතිගුණ ඇති ක්‍රීඩකයින් රාශියක් එක ගොන්නකට ගෙන ජයග්‍රාහී මාවතක් කරා ගෙන යෑමේ විශාල වගකීමක් පැවරෙන්නේ කණ්ඩායමේ නායකයා මතට. ඉතාම විශිෂ්ට ඝනයේ උපායශීලී නායකයින් අප ක්‍රිකට් පිටියේ දී අනන්තවත් දැක තිබෙනවා. නමුත් එවන් උසස් නායකත්ව ගතිවලින් හෙඹි, උපායශීලී ක්‍රීඩකයින් සමහරක් දෙනාට තම රටේ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීමට තරම් වාසනාව ලැබිලා නෑ. 

ආදරණීය රංගයියේ…

රංගන හේරත්.. අපට ඔහු රංගයියා විය. රංගයියා පළමුවරට කාරයක් මිලදී ගෙන ගමට පැමිණි දිනය මට මතකය. ඒ වකවානුවේ කාරයක් මිලදී ගැනීම තරමක්…

“The greatest captain Australia never had” හෙඩිම යටතේ ෂේන් වෝන් ගැන ලිපි කිහිපයක් පහුගිය දිනක කියවන්නට ලැබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ අප සතුවත් එවැනි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සිටි බව මතකයට නැගුණා. ඉන් ඉදිරියෙන්ම කියවෙන කෙනෙක් තමයි රසල් ආනල්ඩ් කියන්නේ. රසල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරපු එක්තරා සුවිශේෂී තරගාවලියක විස්තරයි මේ අපි ඔබට ගෙන එන්නේ.

සාමාන්‍යයෙන් ආසියානු මහද්වීපයේ රටක් වුනත් අපට බෙහෙවින් සමාන තණතීරු සහ දේශගුණික තත්වයන් යටතේ වුවත් ඉන්දියාව කියන රටේ අපේ ක්‍රිකට් වාර්තාව එතරම් උසස් මට්ටමක නැහැ. 1997 වසරේ දිනා ගත් ඉන්දියානු නිදහස් කුසලානය හැරුණු විට එතරම් විශාල සාර්ථකත්වයක් අප ඉන්දියානු භූමියේ දී ලබාගෙන නැහැ. 

2003/04 කාලයේ කෙන්ස්ටාර් සමාගම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා A, ඉන්දියා A, පාකිස්තානු A කණ්ඩායම්වල සහභාගිත්වයෙන් තුන්කොන් සීමිත ඕවර පන්දුවාර තරගාවලියක් ඉන්දියාවේ දී පැවැත්වෙනවා. මෙම තරගාවලියට බොහෝම ප්‍රසිද්ධ සහ දක්ෂ ක්‍රීඩකයින් රාශියක් එක්ව සිටියා.

රසල් ආනල්ඩ් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායමට රංගන හේරත්, ප්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, චාමර සිල්වා, ජෙහාන් මුබාරක්, නුවන් සොයිසා, සමන් ජයන්ත, නවීඩ් නවාස් ඇතුලත්ව සිටියා.

එමෙන්ම තරගාවලියට එක්වූ පාකිස්තානු A කණ්ඩායමට ෂහීඩ් අෆ්‍රිඩි නායකත්වය ලබා දුන්නා, අෆ්‍රිඩි සමඟ ඉම්රාන් නසීර්, මොහොමඩ් හෆීස්, සලමාන් බට්, ෆයිසාල් ඉක්බාල්, නවීඩ් ලතීෆ් වැනුන් පාකිස්තානු කණ්ඩායමට ඇතුළත්ව සිටියා. 

තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දීය කණ්ඩායමේ A නායකත්වය ලැබුණේ හේමන්ග් බඩානිට. ගෞතම් ගාම්භීර්, යුවරාජ් සිං, දිනේෂ් මොන්ගියා, මුනාෆ් පටෙල්, සන්ජේ බංගාර් වැනි ක්‍රීඩකයින් එදා ඉන්දීය A කණ්ඩායම නියෝජනය කළා.

තරගාවලියේ ඉන්දියානු A සහ පාකිස්තානු A කණ්ඩායම් සමඟ පැවති මුල් තරග දෙකම ලකුණු තුන්සීයේ සීමාව ඉක්මවා හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුනා. මෙම තරග දෙකේම තරඟයේ වීරයා බවට පත්වූ රසල් ආනල්ඩ් පිළිවෙළින් ලකුණු 96ක් සහ 100ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කළා. මෙම අවස්ථාවන් දෙකේ දී ම ඔහු නොදැවී ක්‍රීඩා කළා.

ඉතිරි තරග කිහිපයක් පරාජයට පත්වුනත් අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි වුනා. ඔවුන් සමග අනෙක් පසින් සුදුසුකම් ලැබුවේ ඉන්දියානු කණ්ඩායමයි.

කල්කටා නුවර පැවති අවසාන මහා තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 197කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එදා සමත් වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෆර්විස් මහරූෆ් කඩුලු හතරක් දවා ගත්තා.

අවසාන මහා තරගයේ වීරයා ෆර්විස් මහරූෆ් – The Sports Star 2004 ජනවාරි 17 කලාපය

පන්දුවාර 33.4 දී ශ්‍රී ලංකා A කණ්ඩායම තමුන්ගේ ඉලක්කය සපුරා ගනිද්දී ශ්‍රී ලංකා ඉනිමට ජෙහාන් මුබාරක් ලකුණු 61ක් ද, ප්‍රසන්න ජයවර්ධන ලකුණු 54ක්ද එක්කොට තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන විට නොදැවුණ ලකුණු 35ක් සමඟ නායක රසල් ආනල්ඩ් එක් අන්තයක රැඳී සිටීම තවත් විශේෂ කාරණාවක් වුනා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා A කණ්ඩායම – The Sports Star 2004 ජනවාරි 17 කලාපය

තරගාවලිය පුරාවට පිත්තෙන් මෙන්ම නායකත්වයෙන් අති සාර්ථකත්වයක් පෙන්වූ රසල් ආනල්ඩ් තරගාවලියේ වීරයා බවට පත්වුනා. විශේෂයෙන්ම ආනල්ඩ්ගේ නායකත්වය තරගාවලිය පුරාවටම විචාරකයින් මහත් ඉහළින් වර්ණනා කරනු දැකගන්නට ලැබුණා.

ඒත් සමඟම රසල් ආනල්ඩ් නායකත්වය දැරූ සමයේ ඔහු යටතේ එන්. සී. සී. කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු පැවසුවේ ආනල්ඩ් යනු සම්මතයෙන් පිටට ගොස් තීරණ ගැනීමට කිසිදු බියක් නොදැක්වූ නායකයෙකු බවයි.

“සමහර වෙලාවට ප්‍රතිවාදී කණ්ඩායමට වඩා පිටුපසින් ඉඳල ඉනිම අත්හිටුවල නැවත ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දෙන්න දීලා ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගෙන අපි ජයග්‍රහණය කරපු තරග තිබුණා. රසල් කියන්නේ ගේම් එක හොඳටම කියවපු කෙනෙක්.” ඔහු වැඩි දුරටත් රසල් ආනල්ඩ්ගේ නායකත්වය ගැන අදහස් පළ කලේ ඒ ආකාරයෙන්.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

කාසියේ වාසිය: ඉන්දියානු A කණ්ඩායම 

ඉන්දියානු A කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී 197 (පන්දුවාර 44.4): එස්. ශ්‍රීරාම් 65, ෆර්වීස් මහරූෆ් 30/4

ශ්‍රී ලංකා A කණ්ඩායම් 198/3 (පන්දුවාර 33.4): ජෙහාන් මුබාරක් 65, ප්‍රසන්න ජයවර්ධන 54, රසල් ආනල්ඩ් 35*

ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු හතක ජයක්.

තරගයේ වීරයා: ෆර්වීස් මහරූෆ්

තරගාවලියේ වීරයා: රසල් ආනල්ඩ්

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<