19න් පහල ලෝක කුසලානයේ දී මොකද වුනේ?

71

වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ ඊයේ (22) නවසීලන්තය සමඟින් පැවති තරගය කඩුලු තුනකින් පරාජය වීම නිසාවෙනි. එම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමේ වරම් අහිමි විය. 

සිංහ පැටවුන් අත තිබූ ජය කිවියන් අවසන් මොහොතේ ඩැහැ ගනියි!

ක්‍රිකට් ක්‍රීඩාව තුල සැඟව ඇති අවිනිශ්චිතතාවය ………

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම අසාර්ථකත්වයත් සමඟින් ඔවුන්ගේ අඩුපාඩු හා දුර්වලතා පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත. ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම තරගාවලියේ පලඟ ශූරතාව සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. එයට පෙර ඔවුන් නවක කණ්ඩායමක් වන ජපානය සමඟින් තරග වැදීමට නියමිතය. 

නිවැරදි සුසංයෝගය ද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිසි පිතිකරුවෙකු වන අහාන් වික්‍රමසිංහ අංක 8 ස්ථානයට යොදවා තිබීම කණ්ඩායම් කළමනාකාරිත්වය ගත් දුර්වල තීරණයකි. ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු තරගය ඉන්දියාව සමඟින් ක්‍රීඩා කළ අතර එම තරගයට ක්‍රීඩා නොකළ අහාන්, නවසීලන්ත තරගයේ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ පන්දු 48ක දී ලකුණු 68ක් වාර්තා කරමිනි. එයට හතරේ පහර 9ක් ඇතුලත්ව තිබුණි. 

නවසීලන්ත පන්දු ‍යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අහාන් දක්ෂ පිතිකරුවෙකු ලෙස මීට පෙර ද දක්ෂතා දක්වා තිබූ ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා පුහුණුකරු වන හශාන් තිලකරත්න මහතා විසින් කණ්ඩායමේ නැංගුරම ලෙස හඳුන්වා තිබූ අහාන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 141ක් ලබා සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි අතර ඔහු ශ්‍රී ලංකා ලකුණු පුවරුව 242ක් දක්වා ඔසවා තැබීමට සමත් විය. 

තරගයේ හඹා යාම නවසීලන්ත කණ්ඩායමට එතරම් පහසු ඉලක්කයක් නොවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එය පහසුවෙන් ආරක්ෂා කරගතහැකිව තිබුණි. නවසීලන්ත කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සීමාව පසුකරගියේ තරගයේ 49 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා එක් වේගපන්දු ‍යවන්නෙකු පමණක් යොදාගැනීම ද ඔවුන්ට අවාසියක් වූ අතර ඩිල්ශාන් මධුශංකගේ සහයට අම්ශි ද සිල්වා යොදා ගත යුතුව තිබුණි. 

සිංහ පැටවුන් අත තිබූ ජය කිවියන් අවසන් මොහොතේ ඩැහැ ගනියි!

ක්‍රිකට් ක්‍රීඩාව තුල සැඟව ඇති අවිනිශ්චිතතාවය ………

ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම පසුගිය මාස 12-24 කාලය තුල එක් වේගපන්දු යවන්නෙකු පමණක් යොදාගෙන ක්‍රීඩා කර තිබුණේ නැත. දකුණු අප්‍රිකාවේ දී එක් වේගපන්දු ‍යවන්නෙකු පමණක් යොදාගැනීම සමාව දිය නොහැකි වරදක් බවට පත්ව ඇත. 

දඟපන්දු ‍යවන්නන් යොදා ගනිමින් නවසීලන්ත පිතිකරණ ලැයිස්තුවට අභියෝගයක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත. නමුත් කඩුලු ලබා ගැනීමේ විකල්පයක් ලෙස අම්ශි ද සිල්වා යොදාගත හැකිව තිබුණි. ඔහු නව පන්දුවෙන් හා අවසන් පන්දුවාර තුල තම දක්ෂතා මනා ලෙස පෙන්වූ ක්‍රීඩකයෙකි. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගිය මාස 12-18ක කාලය තුල හශාන් තිලකරත්න මහතා යටතේ මෙම තරගාවලිය සඳහා මනා ලෙස පුහුණු වූ අතර මෙම පරාජයන් ඔවුන්ගේ මානසිකත්වයට යම් බලපෑමක් කරනු ඇත. නමුත් ඔවුන් මෙම පරාජයන් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කරගත යුතු නැත. නිපුන් ධනංජය හා ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වනු ඇත. 

ප්‍රශ්නය හා පිළිතුර

ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි 13කට සහභාගි වී ඇති නමුත් එම තරගාවලිවල දී අසාර්ථක වීමට හේතු කීපයක් ඇත. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුල පවතින අසාර්ථක ක්‍රිකට් ව්‍යුහයයි. 

පසුගිය දශකය තුල ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පද්ධතිය ලොව හොඳම ක්‍රිකට් පද්ධතියක් ලෙස හැඳින්වූ අතර එහි ගුණාත්මකභාවය පසුගිය වසර කීපය තුල විශාල පසුබෑමකට ලක්ව ඇත. එය යථා තත්වයට පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම වගකීම වනු ඇත. 

වයස අවුරුදු 19න් පහල පළමු කාණ්ඩය යටතේ පාසල් 36ක් ක්‍රීඩා කරන අතර එම පාසල් විසින් ජාතික කණ්ඩායමට ලබා දෙන දායකත්වය අඩු මට්ටමක පවතී. අවුරුදු 19න් පහල කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන පාසල් 200කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඔවුන් වෙන් වෙන් වශයෙන් තරගාවලි අවම වශයෙන් 6කට හෝ සහභාගි කරවීම අත්‍යාවශ්‍යව ඇත. 

පළමු පෙළ යටතේ තරග වදින පාසල් ප්‍රමාණය අවම ලෙස 16කට අඩු කළ යුතු අතර ඔවුන් round robin ක්‍රමයට තරගාවලියක් සඳහා සහභාගි කර විය යුතුය. එය සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා පැවැත්විය හැක. සාම්ප්‍රදායික තරග පවත්වන්නේ නම් එම තරග හෝ තරගාවලි මෙම තරග වාරය ආරම්භ වීමට පෙර හෝ ආරම්භ වීමෙන් පසුව පැවැත්විය යුතුය. එම තරග වාරයේ අවසන් වටයේ තරග දින 2 තරග වෙනුවට දින 3 තරග ලෙස පැවැත්වීම වඩාත් සුදුසු වේ. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යළිත් ඒමට මැක්ස්වෙල්ට හැකි වෙයිද?

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට නැවත පිවිසීමට……..

ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුල එක්දින තරග වල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා සීමිත පන්දුවාර තරගාවලි සංවිධානය විය යුතු අතර අන්තර් පාසල් විස්සයි විස්ස තරගාවලි ද නැවත ආරම්භ විය යුතුය. 

පාසල් තරගාවලි හා වාර්ෂික ක්‍රිකට් තරගවලට අමතරව පළාත් ක්‍රිකට් තරග ද පාසල් පද්ධතිය තුලට හඳුන්වා දිය යුතු කාලය එළඹ ඇත. එහි දී ද්විතීය පළාත් තරගාවලියක් මගින් අනෙකුත් පළාත් කණ්ඩායම් ද දිරිමත් කළ හැකි අතර ඔවුන්ගේ දක්ෂතා අනුව පළමු පෙළ පළාත් තරගාවලිය සඳහා පිවිසීමේ අවස්ථාව ලබා දිය යුතුය. මෙම පළාත් තරගාවලි ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස ලෙස පැවැත්වීම වඩාත් ඵලදායි වනු ඇත. 

19ට අඩු වයස් කාණ්ඩ නියෝජනය කරන පාසල් ප්‍රමාණය තරමක් වැඩි නිසාවෙන් මෙම තරග රටාවන් වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ පාසල් සඳහා යෙදවීම තරමක් අපහසු වේ. කෙසේ වෙතත් එම වයස් කාණ්ඩවල දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට දිස්ත්‍රික් තරග සඳහා යොමුකරමින් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් තෙක් රැගෙන ඒම වඩාත් සුදුසු වේ. වසර 4ක සැලැස්මක් යටතේ ඔවුන් 19න් පහල කණ්ඩායම දක්වා රැගෙන ආ හැක. 

2022ට දැන්ම පටන්ගමු!

මීළඟ 19න් පහල ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම හැකි ඉක්මනින් ආරම්භ කළ යුතුය. මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරගාවලියක් සඳහා සහභාගි නොකිරීම මේ අසාර්ථකත්වයට තවත් හේතුවක්ව ඇත. 

ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩිල්ශාන් මධුශංක පමණක් මෙම තරගාවලියට පෙර දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කර තිබිණි. ඒ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ සංචාරයක දී ය. ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ නිපුන් ධනංජය, කමිල් මිශ්‍රා, සොනාල් දිනූශ, අශේන් ඩැනියල් වැනි ක්‍රීඩකයන් එම සංචාරය සඳහා එක්කර තිබුනේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි. 

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ආසන්නව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් තරග සංචාර කීපයක් සඳහා එක්කළ හැකි නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වාසිදායක වනු ඇත. 

මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දියාව හා නවසීලන්තය පසුගිය දෙසැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ සංචාරයක් සඳහා එක්වෙමින් තරගාවලි දෙකක් සඳහා ක්‍රීඩා කර තිබුණි. එය ඔවුන්ගේ දක්ෂතා සඳහා මනා පිටිවහලක් වන්නට ඇත. 

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු ආසියාව නියෝජනය කළ අනෙකුත් කණ්ඩායම් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එම නිසා 2022 ලෝක කුසලානය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ දී ප්‍රබල කණ්ඩායම් දෙකක් මුණගැසෙනු ඇත. 

මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තම සූදානම් වීම දැන්ම ආරම්භ කළ යුතුය. 

Change the system and start planning for 2022 ලිපියේ පරිවර්තනයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<