Shane Warneගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය කලඹයි

1340
Shane Warne

ඊයේ (19) නිමා වූ ඉන්දීය ඕස්ට්‍රේලියා සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Shane Warne විස්තර විචාරකයෙකු ලෙස සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ දෙනා සිය අප්‍රසාදය පලකර තිබෙනවා.

Shane Warne මෙම තරගය සඳහා Fox Media ආයතනය වෙනුවෙන් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා. 

මෙම සිදුවීම සිදු වන විට ඉන්දීය කණ්ඩායමේ සිව්වැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියේ Chetashwar Pujara යි. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood යැවූ බවුන්සර් පන්දුවක් මඟහැරීමට Pujara කටයුතු කළා. ඒ අවස්ථාවේ දී Shane Warne සිදු කළ ප්‍රකාශයක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානය යොමු වුනා.   

“මම කියන්නේ අපි Pujaraට මීට වඩා දරුණු වෙන්නෙ ඕනේ. ඔහු ඔහුගේ තැන ඉඳන් සෙල්ලම් කරනවා. ඔහු හොඳ රිද්මයක ඉන්නේ. ඔහුව වට්ටන්න ඕනේ. ඔහුගේ හෙල්මටය ගැලවෙන්න පන්දු යවන්න ඕනේ. ඒ වගේ පන්දු තමයි ඔහුට යවන්න ඕනේ” Shane Warne එම අවස්ථාවේ දී පවසා සිටියා. 

Shane Warne මෙම තරගයේ විස්තර විචාරය අතරතුර දැඩි ලෙස කලබල වනු දක්නට ලැබුණා. ඕස්ට්‍රේලියා නිත්‍ය දඟපන්දු යවන්නා වන Nathan Lyon Pujara වෙත පන්දු යවන අවස්ථාවේ දී පන්දු රකින්නන් ස්ථානගත කළ ආකාරය පිළිබඳවත් මතභේදාත්මක ප්‍රකාශ කීපයක් සිදු කර තිබුණා. 

Shane Warneගේ මෙම ප්‍රකාශ පිළිබඳව බොහෝ දෙනා සිය අප්‍රසාදය පලකර තිබුණේ අදාළ වීඩියෝපට ද සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින්.

Shane Warne සිදු කළ ප්‍රකාශය:

ඉන්දීය ඕස්ට්‍රේලියා සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය පිතිකරු Chetashwar Pujara හට දැඩි අනතුරුදායක පන්දු කීපයක් එල්ල කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කටයුතු කළා. එහි දී දෙවතාවක්ම පන්දුව ඔහුගේ හෙල්මටයේ වැදුණු අතර ඔහුගේ හිසට යම් ආබාධයක් සිදුවූවා දැයි කීපවරක්ම පරීක්ෂා කිරීමට ඉන්දීය කණ්ඩායමේ වෛද්‍යවරුන් කටයුතු කළා. 

ඊට අමතරව Josh Hazlewood එල්ල කළ පන්දුවක් Pujaraගේ අතෙහි වැදුණු අතර ඔහු ඉන් දැඩි වේදනාවකට පත්වූ බව ද දක්නට ලැබුණා. 

Shane Warne ඉන්දීය ක්‍රීඩකයන් හට මෙලෙස ද්වේශසහගත ප්‍රකාශ සිදු කළේ පළමු වතාවට නොවේ. 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ T. Natarajan හට ද Warne එලෙස ප්‍රකාශ කීපයක් සිදු කළා. Natarajan පළමු ඉනිමේ පන්දු යැවීම අතරතුර නිපන්දු කීපයක් එල්ල කළා. එහි දී ඒ පිළිබඳව දැඩි විරෝධයකින් අදහස් දැක්වූ Warne පවසා සිටියේ එම නිපන්දු සාමාන්‍ය නිපන්දු නොවන බවත්, එය Foul play ලෙස නම් කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් ඔහුට එල්ල වන දැඩි විරෝධයට Shane Warne තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. 

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වුන මෙම පූර්ණ තරගාවලිය අතරතුර ඉන්දීය කණ්ඩායමට ගැටලු කීපයකට මුහුණ දෙන්න සිදු වූ බව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කළා. 

ඉන්දීය කණ්ඩායම බ්‍රිස්බෙන් නුවර වෙත පැමිණීමෙන් අනතුරුව ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමර පිරිසිදු කිරීම පවා ක්‍රීඩකයන්ටම කරගැනීමට සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන සහ තෙවැනි තරගය අතරතුර ඕස්ට්‍රේලියා නායක Tim Paine කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ඉන්දීය පිතිකරුවන් අමතා වෛරී සහගත ප්‍රකාශ කීපයක් සිදු කිරීම ද පසුගිය සති කීපය තුල මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා. 

එයට අමතරව ප්‍රේක්ෂකයන් ඉන්දීය ක්‍රීඩකයන් වන Jasprit Bumrah සහ Mohammed Siraj හට ජාතිවාදී ප්‍රකාශ කීපයක් සිදු කර තිබීම ද ක්‍රිකට් ලෝලීන්ගේ සහ ක්‍රීඩකයන්ගේ දැඩි අප්‍රසාදයට පත්ව තිබුණා. 

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය තරග 4කින් සමන්විත වූ අතර පළමු තරගය ඉන්දීය කණ්ඩායම පරාජය වීමෙන් අනතුරුව දෙවන තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඉන්දීය පසුපෙළ විශිෂ්ට පිතිකරණය හමුවේ තුන්වැනි තරගය ජය පරාජයකින් තොරව අවසන් වුනා. 

ඊයේ නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනේ තරගාවලියේ ජයග්‍රහණය 2-1ක් ලෙස තමන් සතුකර ගනිමින්. 

අවසන් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන් වන Mohammed Siraj, Washington Sundar, Shardul Thakur සහ Rishabh Pant කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

ගැබා ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම බිඳ දැමුවේ වසර 33ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයක්. 

NewsWire සහ විදෙස් මාධ්‍ය ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<