තාත්තාගේ හීනය සැබෑ කළ ඉන්දියාවේ වීරයා

205
Mohammed Siraj

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය තුල ඉන්දීය කණ්ඩායම හා එක්වූ නවක ක්‍රීඩකයන් කීපදෙනෙකු කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඉන් ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Siraj හට.

Mohammed Sirajගේ මෙම සාර්ථකත්වය පසුපස සිටින්නේ ඔහුගේ පියා බව බොහෝ දෙනා නොදන්නා කතාවක්. මේ කතාව Mohammed Sirajගේ සහෝදරයා පසුගිය දා Times of India පුවත්පත සමඟින් එක්වූ සාකච්ඡාවක දී හෙළි කලා. 

ඔහු පවසා සිටියේ කුඩා කල Siraj සිය විභාග සඳහා සහභාගී නොවී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවල ඔවුන්ගේ පියා එයට දඬුවම් නොකර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහුට උදව් කළ බවයි.

“Siraj පුරුදු වෙලා හිටියා මොන දේ තිබුනත් ක්‍රිකට් සෙල්ලම් කරන්න. ගොඩක් වෙලාවට ඔහුට විභාග මඟහැරෙනවා. සමහර වෙලාවට ඔහු දන්නෙත් නැහැ විභාග ගැන. ප්‍රතිඵල ආවම ඔහුගේ නම ඉස්සරහින් absent කියලා සඳහන් වෙනවා. ඒ වෙලාවේ තමයි අපි දන්නෙත් Siraj විභාගයට ගිහින් නැහැ කියලා. ඔහු ලොකු පන්තිවලදිත් ඒක කළා. ක්‍රිකට් තමයි ඔහුගේ අංක 1 වුනේ” Sirajගේ සහෝදරයා වන Mohammed Ismail සිය සහෝදරයාගේ අතීතය සිහිපත් කරමින් පවසා සිටියා. 

“මොන දේ වුනත් අපේ තාත්තා ඔහුට උදව් කලා. තාත්තට ඕනේ වුනේ ඔහුගේ පුතා ටෙස්ට් තරග සෙල්ලම් කරනවා බලන්න. ඔහු හැමවෙලේම කිව්වේ එක්දින හෝ විස්සයි විස්ස තරගවලට වඩා ටෙස්ට් තරග වටිනවා කියලා. ඇත්තම ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් කියලා ඔහු කිව්වා. විස්සයි විස්ස තරගයක දී පන්දු යවන්නා යවන හොඳම පන්දුවකට වුනත් හයක් ගහන්න පුළුවන් නම් වැඩක් නැහැ. ඒක පිතිකරුවන් ගේ ක්‍රීඩාවක්. තාත්තා කිව්වේ එහෙමයි. අපේ තාත්තා කවදාවත් ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ. ඒත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.” 

“තාත්තගේ හීනය වුනේ Siraj ටෙස්ට් තරග සෙල්ලම් කරනවා බලන එක. අපි ගොඩක් සතුටු වෙනවා තාත්තා අපි ළඟ නැති වුනත් ඔහුගේ හීනය සැබෑ වුන එකට. එයාගේ පුතා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග සෙල්ලම් කරනවා බලන්න තාත්තා හිටියා නම් ගොඩක් වටිනවා.” 

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී කඩුලු 5ක් දවා ගැනීමට Siraj සමත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත්: 

තවමත් 26 හැවිරිදි මේ වේගපන්දු යවන්නා ගැබා ක්‍රීඩාංගණයේ කඩුලු 5ක් දවා ගත් පස්වැනි ඉන්දීය පන්දු යවන්නා බවටත් පත්වුනා. 

සිව්වැනි දිනයේ තරගය නිමා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Mohammed Siraj සිය මවට ස්තූතිය පල කළා. මීට මාස කීපයකට පෙර පියා අහිමි වුවත් සිය මව ඔහුගේ පසුපස සිටිමින් ඔහුට උදව් කළ බව ද Siraj එහි දී සිහිපත් කළා. 

“මම පුළුවන් හැමවෙලේම ගෙදර අයට කතා කළා. අම්මට කතා කළා. ඔවුන් මාව දිරිමත් කළා. මාව ශක්තිමත් කළා” Siraj පවසා සිටියා. 

Sirajගේ සහෝදරයා ද ඔවුන්ගේ මව පිළිබඳව සඳහන් කිරීමට අමතක කළේ නැහැ. 

“Siraj පසුගිය අගෝස්තු මාසයේ ඉඳන් ගෙදර හිටියේ නැහැ. අම්මා ඒක කොහොමහරි දරාගෙන හිටියා. ඇය ශක්තිමත් කාන්තාවක්. Sirajට ක්‍රිකට්වලට අවධානය යොමු කරන්න පුළුවන් වුනේ අම්මා නිසා. ඔහු නිතරම අම්මට කතා කරනවා. අම්මත් ඔහුට කතා කරලා දිරිමත් කරනවා” Ismail පවසා තිබෙනවා.

ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය තුල Mohammed Siraj පන්දුවාර 134ක් ක්‍රියාත්මක කළා. ඒ පිළිබඳව අදහස් දක්වමින් පසුගිය සඳුදා (18) Siraj පවසා සිටියේ ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් ඔහුට ලබා දුන් ශාරීරික යෝග්‍යතා ව්‍යායාම නිවැරදි ලෙස භාවිතා කළ නිසා ඔහුට පන්දුවාර වැඩි ප්‍රමාණයක් කිසිදු ආබාධයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. 

Siraj මෙම තරගාවලිය තුල ක්‍රියාත්මක කළ පන්දුවාර 134 ඉන්දීය ක්‍රීඩකයෙකු විසින් කිසිදු ආබාධයකින් තොරව ක්‍රියාත්මක කළ වැඩිම පන්දුවාර සංඛ්‍යාව ලෙස ද වාර්තා වුනා. 

ඉන්දීය ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ලකුණු 328ක ඉලක්කයක් හඹායන ඉන්දීය කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 183ක් රැස්කරගෙන සිටියා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය මෙයයි.

තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළත් දෙවන තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ඉන්දීය කණ්ඩායමටයි.

ඉන්දීය කණ්ඩායමේ දක්ෂ සහ ඉවසිලිවන්ත පිතිකරණය හමුවේ තුන්වැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වුනා.

Times of India පුවත්පත ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<