උමර් අක්මාල්ට වසර 3ක තරග තහනමක්!!!

77

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන ක්‍රීඩක උමර් අක්මාල්ට විනය කමිටුවේ සභාපති විනිසුරු (විශ්‍රාමික) ෆසාල්-ඊ-මිරාන් චෞහාන් විසින් සියලු ක්‍රිකට් තරග සඳහා වසර තුනක තහනමක් පනවා තිබේ. 

තරග පාවාදීමේ චෝදනාවට උමර්ගෙන් ප්‍රතිචාර

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ උමර් අක්මාල් තරග පාවාදීමකට සම්බන්ධ වූ බව පසුගියදා ජාත්‍යන්තර…..

2020 පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර සිදු වූ දූෂිත ප්‍රවේශයන් දෙකක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත වාර්තා නොකිරීම අක්මාල්ට විරුද්ධව ඇති චෝදනාවයි. 

ලාහෝර් හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ කමිටුව සමඟ පැවති නඩු විභාගයෙන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය නිල වශයෙන් අනාවරණය කරන ලදි. නඩු විභාගයේ දී තමන් වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළ අක්මාල්, පැයක් පුරා පැවති නඩු විභාගයේ දී තම ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කර ඇත. 

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 37 වන වගන්තියට අනුව ඔහුට හැකියාව ලැබේ. එලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ දී ස්වාධීන විනිශ්චයකරුවෙකු ඔහුගේ අභියාචනය විභාග කරනු ඇත.

“දූෂණ චෝදනා මත මෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර තුනක තහනමක් ප්‍රකාශයට පත්කිරීම ගැන පාකිස්තාන ක්‍රිකට් ආයතනය කිසිඳු සතුටක් දක්වන්නේ නෑ. නමුත් දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමෙන් පසු තමන්ට ගැලවිය හැකි යැයි සිතන සැමට මෙය යළිත් වරක් කාලෝචිත මතක් කිරීමක්.” යයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ හා ආරක්ෂක අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් අසීෆ් මහමුද් මහතා පැවසීය. 

“දූෂණ විරෝධී ඒකකය විසින් සෑම මට්ටමකම අධ්‍යාපන සම්මන්ත්‍රණ සහ නව පාඨමාලා පවත්වනු ලබන අතර එහිදී සියලුම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ යුතුකම් හා වගකීම් මතක් කර දෙනවා. සමහර ක්‍රිකට් ක්‍රීඩකයින් නීති සංග්‍රහය ඔවුන්ගේ අතට ගැනීමට තීරණය කළත්, තත්වය එලෙසින් සිදුවේවි.” 

“සියලු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ දූෂණ උවදුරෙන් ඉවත් වෙලා වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසයි. මෙය ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම්වල සහ රටේ යහපතට හේතු වේවි.” 

මේ වන විට 29 හැවිරිදි අක්මාල් හට මෙම දූෂණ චෝදනා එල්ල වූ වහාම පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 සංස්කරණයෙන් තාවකාලිකව ඉවත් කළද පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මාර්තු මස 20 වන දින 2.4.4 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විධිමත් ලෙස චෝදනා ගොනු කරන ලදී. එහි සඳහන් වන්නේ ‘සිදුවන දූෂණ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සුපරීක්ෂාකාරී හා ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනාවරණය කිරීමට අපොහොසත් වීම හෝ අනවශ්‍ය ප්‍රමාදයක් සිදුවීම හෝ මෙම දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට සහභාගීවන්නාට ලැබුනු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා දීමට අපොහොසත් වීම’ යන චෝදනා ඔහුට විරුද්ධව ඇති බවයි. 

දූෂණ විරෝධී විනිශ්චය සභාව ඉදිරියේ චෝදනා ඉදිරිපත් කිරීමට විරුද්ධ වීමෙන් පසු උමර් අක්මාල්ගේ නඩුව විනය කමිටුවට මාරු කරනු ලැබිනි. ඉන් අනතුරුව අභියෝගයකට මුහුණ දීමට ඔහු ගත් තීරණය නිසා විනිසුරු චෞහාන්ගේ සම්බාධක පිළිගැනීමට ඔහුට සිදුවිය. එය නීති සංග්‍රහයට අනුව මාස හයක අත්හිටුවීමේ සිට ජීවිත කාලය පුරාම තහනමක් දක්වා විය හැකිය. 

ආචර් ලෝක කුසලාන පදක්කම සොයා ගනී

එංගලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ ලෝක කුසලාන පදක්කම නැති වීම පිළිබඳව ප්‍රවෘත්තියක්….

වසර තුනක තහනම උමර් අක්මාල්ගේ ක්‍රිකට් වෘත්තිය අවුල් කළ වැරදි මාලාවක නවතම එකකි. පසුගිය පෙබරවාරි මාසයේ දූෂණ චෝදනා මතුවීමට මොහොතකට පෙර අසමත් වූ යෝග්‍යතා පරීක්ෂණයක දී කාර්ය මණ්ඩලය සමඟ අයුක්ති සහගත ලෙස හැසිරුනු බවට අක්මාල්ට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව කළ පරීක්ෂණයකින් පසුව සිද්ධිය වරදවා වටහා ගැනීමක් බව තහවුරු විය. 

උමර් අක්මාල් මෙතෙක් සිදුකළ වැරදි

  • 2020 අප්‍රේල් – දූෂිත ප්‍රවේශයන් වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සියලු ක්‍රිකට් තරග සඳහා වසර තුනක තහනමක් හිමි විය. 
  • 2020 පෙබරවාරි – යෝග්‍යතා පරීක්ෂණයේ දී නුසුදුසු ලෙස හැසිරීම සම්බන්ධයෙන් තරවටු කරනු ලැබිනි. 
  • 2019 අප්‍රේල් – ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායි හි කණ්ඩායම් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නියම විය. 
  • 2018 ජුනි – තරග පාවාදීමේ ඉල්ලීම් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක ඔහුගේ අදහස් දැක්වීම නිසා අවවාද කිරීම. 
  • 2017 සැප්තැම්බර් – හිටපු පුහුණුකරු මිකී ආතර් සමඟින් සිදු වූ බහින්බස් වීමක් නිසා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඔහුට විදේශීය ලීග් ක්‍රීඩා කිරීම අවලංගු කරන ලදි. 
  • 2017 මැයි – ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් චැම්පියන්ස් කුසලානයට පෙර එංගලන්තයෙන් නැවත කැඳවන ලදි. 
  • 2016 මැයි – විනය හේතුන් මත අහමඩ් ෂෙෂාඩ් සමඟ එංගලන්ත සංචාරයෙන් ඉවත් කිරීම. 
  • 2016 ජනවාරි – විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයෙන් ඉවත් කිරීම. 
  • 2015 නොවැම්බර් – අවසරයකින් තොරව සාදයකට සහභාගී වූ බවට වාර්තා වීමෙන් පසු පාකිස්තාන ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත්කිරීම නිසා එංගලන්ත විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීම. 
  • 2014 පෙබරවාරි – රථවාහන නීති උල්ලංඝනය කිරීමකින් පසු පොලිසිය සමඟ විනය විරෝධී ලෙස හැසිරීම නිසා ලාහෝර් පොලිසිය විසින් දඩ නියම කළේය. 
  • 2012 ඔක්තෝබර් – ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගයක දී අත්වැසුම් වෙනස් කිරීමට යන අතරතුර විනිසුරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් දඩ මුදල් නියම කෙරිනි. 
  • 2011 ජුනි – රූපවාහිනී මාධ්‍යයට අනවසර සම්මුඛ සාකච්ඡා ලබා දීම සම්බන්ධයෙන් අවවාද කිරීම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<