Steve Smith වාර්තා පොත් අලුත් කරයි

243

අවම ඉනිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 7500 සීමාව පසුකර ගිය ක්‍රීඩකයා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steve Smith සමත් විය. 

Steve Smith මෙම දස්කම දැක්වීමට සමත් වූයේ ඉන්දීය – ඕස්ට්‍රේලියා සිව්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අතරතුර දීය. 

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් Steve Smith ලකුණු 55ක් රැස්කළේය. ඒ Smithගේ ටෙස්ට් දිවියේ 139 වන ඉනිමයි. 

Smith මෙම වාර්තාව පිහිටවූයේ ඉන්දීය සුපිරි ක්‍රීඩකයන් වන Virendra Shewag සහ Sachin Tendulkar අභිබවා යමිනි. ඔවුන් දෙදෙනා ටෙස්ට් ලකුණු 7500 වාර්තා කර තිබුනේ ඉනිම 144 කදීය.

Sehwag සහ Tendulkar මීට පෙර 7500 ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වූ අතර බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රේෂ්ඨ ක්‍රීඩක Gary Sobers සහ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර එහි සෙසු ස්ථාන වලට පත්ව සිටියේ ඉනිම 147ක දී ලකුණු 7500ක් වාර්තා කරමිනි. 

අවම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 7500 සීමාව පසුකර ගිය ක්‍රීඩකයන් 

ක්‍රීඩකයා  රට  ඉනිම සංඛ්‍යාව  
Steve Smith  ඕස්ට්‍රේලියාව  139 
Sachin Tendulkar   ඉන්දියාව   144 
Virendra Sehwag   ඉන්දියාව   144 
Gary Sobers  බටහිර ඉන්දීය කොදෙව්   147 
කුමාර් සංගක්කාර   ශ්‍රී ලංකාව   147 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිව්වන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බෙන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දීයි. 

ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 396ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Marnus Labuschagne ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය. 

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ නවක ක්‍රීඩක T Natarajan, Shardul Thakur සහ Washington Sundar කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය. 

ඉන්දීය පළමු ඉනිම ලකුණු 336කට නිමා වූයේ Josh Hazlewoodගේ කඩුලු 5 අවස්ථාවක් සමඟිනි. එක් අවස්ථාවක ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 186ක් වාර්තා කර තිබූ අතර නවක ක්‍රීඩකයන් වූ Shardul Thakur සහ Washington Sundar හත්වන කඩුල්ලට ලකුණු 123ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් විය. ඔවුන් දෙදෙනා සිය පළමු ටෙස්ට් අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම කැපී පෙනුනි. 

දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 294කට සීමා කිරීමට ඉන්දීය වේගපන්දු යවන්නන්ට හැකි විය. Mohammed Siraj කඩුලු 5ක්ද, Shardul Thakur කඩුලු 4ක් ද දවා ගැනීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු ඉනිමට දැඩි පීඩනයක් එල්ල කරමිනි. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Steve Smith ලකුණු 55ක් රැස්කළේය. 

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 328 කි. 

ගැබා ක්‍රීඩාංගණයේ ටෙස්ට් ඉතිහාසයේ සිව්වන ඉනිමේ දී හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 1951 වසරේ දී ඕස්ට්‍රේලියාව විසින් රැස්කර ගත් ලකුණු 236 කි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1988 වසරෙන් පසුව ගැබා ක්‍රීඩාංගණයේ දී කිසිඳු ටෙස්ට් තරගයක් පරාජය වී නොමැත. 

සිව්වන දිනයට තරගය නතර කරන විට ලකුණු 328ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 4ක් රැස්කර ගෙන සිටියහ. හෙට තරගයේ අවසන් දිනයයි. 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය මෙයයි. 

තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළත් දෙවන තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ඉන්දීය කණ්ඩායමටයි. 

ඉන්දීය කණ්ඩායමේ දක්ෂ සහ ඉවසිලිවන්ත පිතිකරණය හමුවේ තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<