වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය මෙම මස 04 වන දින හොං කොං රාජ්‍යයේ කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායම පසුගිය වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අද (1) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙම සිකුරාදා (04) පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසයේ නව පිටුවක් පෙරලු ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයෝ

ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 20න් පහල ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවක් දිනා ගනිමින් මෙරට රග්බි..

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී කෙවින් ඩික්සන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම බවට පත්වෙමිනි. එහි දී ඔවුන් මැලේසියාවේ දී පැවති තරගාවලියේ පළමු අදියරේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර හොං කොං හිදී පැවති දෙවන අදියරේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් තරගාවලියේ සමස්ත ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවයක් පළමු වරට දිවයිනට රැගෙන එමිනි.

ශ්‍රි ලංකාව ආසියානු ශූරතාවය දිනා ගනි

ආසියනු වයස අවුරුදු විස්සෙන් පහළ සත්සාමාජික රග්බි තරඟාවලියේ දෙවන සහ අවසන් වටය හොන්-කොන් ..

පසුගිය වසරේ ජයග්‍රහණය කළ ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ වගකීම මෙවර පැවරී ඇත්තේ නවීන් හේනකන්කානම්ගේ ප්‍රමුඛ කණ්ඩායමට ය. නමුත් මෙම වසරේ දී ඔවුන්ට ඒ සඳහා ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි. පසුගිය වසරේ තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වුනත් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක් අදියරක් යටතේ පමණි. ඒ අනුව එම අදියර ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම ආසියානු ශූරයින් ලෙසින් එළඹෙන සැප්තැම්බර් මාසයේ දී උරුගුවේ හිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ රග්බි ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

හේනකන්කානම්ගේ හට නව අභියෝගයක්

Naveen is undoubtedly the best in the Schools Sevens circuit
නවීන් අවිවාදයෙන් පාසල් මට්ටමේ හොඳම සත් සාමාජික ක්‍රීඩකයින් අතරින් අයෙකි.

කණ්ඩායමේ නායකත්වය සඳහා කිසිදු පැකිලීමකින් තොරව නවීන් හේනකන්කානම්ගේ ගේ නාමය යෝජනා වූයේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල ඔහු සපුරා තිබූ හෙයිනි. වයස අවුරුදු 18න් පහළ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ද නායකත්වය දැරූ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී හොං කොං හිදී පලඟ ශූරතාවයක් සහ චීන තායිපේ හිදී තරගාවලි ජයග්‍රහණයක් කරා මෙහෙයවන්නට සමත් විය.

එමෙන්ම ක්‍රීඩකයෙක් වශයෙන් ද ඔහු දක්වන දක්ෂතා විදහා දක්වන්නට පසුගිය දිනවල දී පැවති ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දී මෙන්ම වෙළඳසේවා රග්බි තරගාවලියේ දී ඔහු සමත්කම් පෑවේය. කෙසේ නමුත් මෙවර ආසියානු රග්බි ශූරතාවලියට සහභාගී වන කණ්ඩායමට නායකත්වය ලබා දීම ඔහුට නව අභියෝගයක් වනු ඇති බව නොඅනුමානයි.

අත්දැකීම්වල වැදගත්කම

පසුගිය වසරේ දී ශූරතාවය දිනාගත් කෙවින් ඩික්සන්ගේ කණ්ඩායම තුළ ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් වෘත්තීමය රග්බි පිටිය තුළ අවම වශයෙන් එක් තරග වාරයක් හෝ ක්‍රීඩා කර තිබුණි. එය එම කණ්ඩායමට අනෙක් ආසියානු කණ්ඩායම් සමඟ තරග වැදීමේ දී විශාල වාසියක් විය.

පසුගිය වසරේ දී ශූරතාවය දිනාගත් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන සුපුන් දිල්ශාන් මෙවර කණ්ඩායම තුළ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වේ. ඒ අනුව ඔහු සතු අත්දැකීම් කණ්ඩායමට මෙම තරගාවලියේ දී අතිශය වැදගත් වනු ඇත. ඔහු මීට පෙර වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් දෙවරක් සහ සත් සාමාජික කණ්ඩායම නියෝජනය කරමින් එක් වරක් විදේශීය සංචාරවලට සහභාගී වී ඇති අතර ඒ අනුව මෙය ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිව්වන සංචාරය වේ.

This will be Supun Dilshan's fourth Under 20 tour
මෙය සුපුන් දිල්ෂාන්ගේ සිව්වන 20න් පහළ සංචාරයයි

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා රටාව මෙහෙයවන ආකාරය කණ්ඩායමේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වනු ඇත.

නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය යටතේ වයස අවුරුදු 18න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් මෙම කණ්ඩායම නියෝජනය කරනු ලබන්නේ දිනුක් අමරසිංහ සහ චමෝද් ප්‍රනාන්දු පමණි. ඔවුන් දෙදෙනා පැවති තරග වාරයේ දී තම පාසල් කණ්ඩායම් වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා ද ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමේ ඉතා වැදගත් ක්‍රීඩකයින් දෙපළක් වනු ඇත.

ලහිරු හේරත්ට සහ සුරංග බණ්ඩාරට ජාතික වරම්

Lahiru & Herath (L) and Suranga Bandara (R) should be making their alma-maters CWW Kannangara and Prince of Wales proud
ලහිරු හේරත් (වමේ) සහ සුරංග බණ්ඩාර (දකුණේ) ඔවුන්ගේ පාසල් වන සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයට සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ගෞරවයක් අත්කර දීමට සමත්ව ඇත

මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ සිටින දක්‍ෂතම ක්‍රීඩකයින් ඇතුළත් කරන්නට තේරීම් කමිටුව සිය උපරිම උත්සාහය යෙදවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ලහිරු හේරත් සහ සුරංග බණ්ඩාර සංචිතයට ඇතුළත් කර ඇත.

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන 20 හැවිරිදි ලහිරු හේරත් සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර ඒ අනුව ඔහු ද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ දී ‘Softlogic Warriors’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් වෘත්තීය රග්බි දිවියට පා තැබූ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ සුරංග බණ්ඩාර එහි දී ඔහුගේ දක්‍ෂතා හරහා තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ඔහුගේ වේගය මෙන්ම ක්‍රීඩා විලාශය ද ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන තරගාවලියේ දී වැදගත් වනු ඇත.

සුදත් සම්පත් පුහුණුකරු ලෙසින්

Sudath Sampath was the man behind Sri Lanka's Under 20 win last year
පසුගිය වසරේ දී 20න් පහළ කණ්ඩායමට ආසියානු කුසලානය දක්වා මඟ පෙන්වූයේ පුහුණුකරු සුදත් සම්පත් ය.

සුදත් සම්පත් හට ක්‍රීඩකයෙක් වශයෙන් ලබාගත නොහැකි වූ ජයග්‍රහණයක් ඔහුට පුහුණුකරුවෙක් වශයෙන් ලබා ගැනීමට හැකි විය. ඒ අනුව ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත්ව ඇත.

පසුගිය වසරේ දී ආසියානු ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ද පුහුණුකරු ධූරය දැරූ ඔහු මෙවර ද කණ්ඩායමේ පුහුණුකරු ධූරය දැරීමට සුදුසුම පුද්ගලයා වන බව නොඅනුමානය. පොලිස් ක්‍රීඩා සමාජයේ ද පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඔහු මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවය දක්වා රැගෙන යෑමේ අභිප්‍රායෙන් පසුවෙයි.  

ඒ අනුව මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ සම්භාවිතාවය ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඔවුන්ට අභියෝගයක් එල්ල කළ හැකි එකම කණ්ඩායම වන්නේ සත්කාරක හොං කොං කණ්ඩායම යි. පසුගිය වසරේ දී කෙවින් ඩික්සන් ප්‍රමුඛ කණ්ඩායමට ද මෙල්ල කිරීමට නොහැකි වූ එකම කණ්ඩායම වූයේ හොං කොං කණ්ඩායම යි. ඒ අනුව ඔවුන්ට එහි දී සිදු කිරීමට නොහැකි වූ කාර්යය මෙවර නවීන් හේනකන්කානම්ගේ ප්‍රමුඛ කණ්ඩායමට පැවරී ඇත.

ඒ අනුව දක්‍ෂතා වලින් පරිපූර්ණ ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායම පසුගිය වසරේ දී ජයග්‍රහණය කරනු ලැබූ ශූරතාවය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණ ඇතිව මෙවර ද කිංග්ස් පාක් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත.   

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතය

නවීන් හේනකන්කානම්ගේ (නායක), සුපුන් දිල්ෂාන් (උපනායක), චමෝද් ප්‍රනාන්දු, රනිදු පද්මසංක, දිනුක් අමරසිංහ, අදීශ වීරතුංග, සුරංග බණ්ඩාර, ලහිරු හේරත්, තීක්ෂණ දසනායක, වජීඩ් ෆවුමි, සන්දේශ් ජයවික්‍රම, අවිශ්ක ලී

සංචාරය සඳහා සහභාගී නොවන අතිරේක ක්‍රීඩකයින් –

චතුර සෙනෙවිරත්න, රමේෂ් ප්‍රනාන්දු, තනුජ මදුරංග

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග Dialog Tv නාලිකා අංක 01, MyTv සහ ThePapare.com ඔස්සේ හොං කොං හි කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ සිට සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare සූදානමෙන් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<