MAS යුනිචෙලා කණ්ඩායම ශූරතාවය දිනා ගනී

1281
Mercantile Cricket

මේ වසරේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධාන කල ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට MAS යුනිචෙලා කණ්ඩායම සමත්  විය. මෙවර තරගාවලියේ අවසන් දිනයේ තරග ඊයේ (01) කොළඹදී ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට අමතක නොවන දිනයක්

MAS යුනිචෙලා කණ්ඩායම ලීග් ශූරතා ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 28කට හිමිකම් කීවේ තරග 7කින් 6ක් ජය ගනිමිනුයි. ඔවුන්ට ප්‍රබල සටනක් දුන් ජෝන් කීල්ස් කණ්ඩායමද තරග 7න්  6ක් ජයගෙන ඇති නමුත් යුනිචෙලා කණ්ඩායම බෝනස් ලකුණු 4ක් ලබා ගනිද්දී ජෝන් කීල්ස් කණ්ඩායමට බෝනස් ලකුණු 3ක් පමණක් හිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 27කට සීමා විය. ඒ අනුව ඔවුන්ට ලීග් අනුශූරතාව හිමිවෙද්දී පසුගිය වසරේ ශූරයන් වූ MAS ඇක්ටිව් කණ්ඩායම මෙවර සියලු තරග පරාජය වීම කැපී පෙනුනි.

තරගාවලිය අවසානයේ කණ්ඩායම් ස්ථානගත වීම.

  • MAS යුනිචෙලා
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්
  • කොමර්ෂල් ක්‍රෙඩිට්
  • සම්පත් බැංකුව
  • ඩිමෝ
  • ටෙක්ස්චර්ඩ් ජර්සි
  • හැටන් නැෂනල් බැංකුව
  • MAS ඇක්ටිව්

MAS යුනිචෙලා සහ ඩිමෝ කණ්ඩායම් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ යුනිචෙලා කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලේ ඔවුන්ට අතිශය වැදගත් වූ බෝනස් ලකුණ ලබා ගැනීම සඳහා හඹා යාමේ වාසියද ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

ඩිමෝ කණ්ඩායම පන්දුවාර 47.1ක් තුල ලකුණු 229කට සීමා කරන්නට යුනිචෙලා පන්දු යවන්නන් සමත් විය. ආරම්භක පිතිකරු හෂාන් දුමිඳු අගනා ලකුණු 66ක් සහ ජේසන් පෙරේරා ලකුණු 44ක් ලබා ගන්නා ලදී. අත්දැකීම් බහුල දිල්රුවන් පෙරේරා කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් විය.

ලකුණු 230ක සාමාන්‍ය ඉලක්කයක් හඹා යාමේදී යුනිචෙලා කණ්ඩායම බෝනස් ලකුණක් සමගින්ම ජයග්‍රහණය වෙත ගෙනයාමේ මූලික පියවර තැබූ මහේල උඩවත්ත හතරේ පහර 3ක් සහ 6 පහර 3ක් සමග ලකුණු 87ක් ලබා සිටින ලදී. ඊට අමතරව TM ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, චාමර සිල්වා සහ රශ්මික ඕපාතගෙන් ද යුනිචෙලා කණ්ඩායමට අගනා දායකත්වයක් හිමි විය.

 ලකුණු පුවරුව 

ඩිමෝ කණ්ඩායම  – සියල්ලන් දැවී – 229 (47.1)  : හෂාන් දුමිඳු – 66, ජේසන් පෙරේරා – 44, ලසිත් අබේරත්න – 20, දිල්රුවන් පෙරේරා – 3/48, මාලිංග බණ්ඩාර – 2/39, ෆර්වීස් මහරූෆ් – 2/50.

MAS යුනිචෙලා කණ්ඩායම – 230/6 (38.2)  : මහේල උඩවත්ත – 87*, TM ඩිල්ශාන් – 28, චාමර සිල්වා – 28, ධනුෂ්ක ගුණතිලක – 27, රශ්මික ඕපාත – 22, රමේෂ් මෙන්ඩිස් – 2/37, නිසල තාරක – 2/49.

MAS යුනිචෙලා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


ජෝන් කීල්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර තරගය.

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් නායක භානුක රාජපක්ෂ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී. තම තීරණය සාධාරණීකරණය කරමින් භානුක ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිද්දී විකුම් බණ්ඩාරද ලකුණු 32 කට කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් විය.

මේ අනුව සම්පත් බැංකු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 99ක් පමණි. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල චාමික කරුණාරත්න ලකුණු 30ක් ලබා ගන්නා ලදී.

ඉතා වේගවත් පිළිතුරු ඉනිමක් දියත් කළ ජෝන් කීල්ස් කණ්ඩායම පන්දුවාර 14ක් තුල ලකුණු 100ක ඉලක්කය සපුරා ගන්නට සමත් වුවත් එම කාලය තුල ඔවුන්ගේ කඩුලු 5ක් බිඳ වැටුණි. ඉන් කඩුලු 4කම අයිතිය හිමිවුණේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත හටයි. කෙසේ වෙතත් සඳුන් වීරක්කොඩි ලකුණු 40ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත් විය.

 ලකුණු පුවරුව 

සම්පත්  බැංකුව  – සියල්ලන් දැවී – 99 (25.4) : චාමික කරුණාරත්න – 30, ප්‍රිමෝෂ් පෙරේරා – 21, භානුක රාජපක්ෂ – 3/30, විකුම් බණ්ඩාර – 3/32, උපුල් ඉන්ද්‍රසිරි – 2/10.

ජෝන් කීල්ස් කණ්ඩායම – 102/5 (13.2) : සඳුන් වීරක්කොඩි – 40, කසුන් රාජිත – 4/54.

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.


හැටන් නැෂනල් බැංකුව සහ MAS ඇක්ටිව් අතර තරගය

තරගාවලියේ අවසන් ස්ථානය දිනා ගැනීමේ අවමානයෙන් ගැලවීම සඳහා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී මෙම කණ්ඩායම් දෙක තරග වැදුනි. කාසියේ වාසිය දිනු හැටන් නැෂනල් බැංකු නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන්නේ MAS ඇක්ටිව් කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 48.1ක් තුල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 219ක් පමණයි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 87ක් රැස් කරද්දී, මින්හාජ් ජලීල් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

පිත්තෙන්ද අගනා දායකත්වයක් ලබා දුන් මින්හාජ් ජලීල් පන්දු 134කින් ලකුණු 122ක් ලබාගෙන හැටන් නැෂනල් බැංකු පිළිතුරු ඉනිමේ වැඩි බරක් කරට ගනිද්දී ඔවුන් පන්දුවාර 5ක් සහ කඩුලු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

 ලකුණු පුවරුව 

MAS ඇක්ටිව් – සියල්ලන් දැවී – 219 (48.1) : ඇන්ජලෝ පෙරේරා – 87, TM සම්පත් – 29, කෝසල කුලසේකර – 2/44, මින්හාජ් ජලීල් – 3/45, මාධව වර්ණපුර – 2/26.

හැටන් නැෂනල් බැංකුව – 221/7 (45) : මින්හාජ් ජලීල් – 122, සචින් ජයවර්ධන – 20, ලසිත් ඇඹුල්දෙනිය – 4/36, සචිත්‍ර සේරසිංහ – 2/48.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට කඩුලු 3ක ජයක්.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම් අතර තරගය

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයත් නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් අවසන් වීම කැපී පෙනුනි. පළමුවෙන් පන්දුවට පහර දුන් ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට පන්දුවාර 30ක් තුල සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 99ක් පමණි. යොවුන් ආරම්භක පිතිකරු මිනෝද් භානුක පමණක් යම් සටන්කාමී බවක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 47ක් රැස් කරද්දී, ලහිරු මධුශංක සහ ෂෙහාන් ජයසූරිය අතරේ කඩුලු 7ක අයිතිය බෙදී යන ලදී.

ලකුණු 100ක පහසු ඉලක්කය පසු කර යන්නට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වැය කළේ පන්දුවාර 18.1ක් පමණයි.

 ලකුණු පුවරුව 

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම  – සියල්ලන් දැවී – 99 (29.3) : මිනෝද් භානුක – 47, ලහිරු මධුශංක –  4/18, ෂෙහාන් ජයසුරිය – 3/40.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම  – 103/4 (18.1) : ෂෙහාන් ජයසුරිය – 29, සුරාජ් රන්දීව් – 27*, ලහිරු මධුශංක – 24*, නුවන් ප්‍රදීප් – 2/15, චලන ද සිල්වා – 2/43

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට