ක්‍රීඩා ඇමති, බැඩ්මින්ටන් කමිටුවට පයින් ගසයි

329
Sri Lanka Badminton

අභිනවයෙන් තේරී පත්වූ බැඩ්මින්ටන් සංගම් කමිටුව විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. නියමිත ක්‍රමයට අනුව විගණකාධිපතිවරයා වෙත විගණන වාර්තාවක් ලබා නොදෙමින් අදාළ කමිටුව තෝරා පත්කර ගෙන ඇති බැවින් ඔහු මෙසේ සිදු කළේ යැයි පසුගිය දා (29) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

නිශාන්ත ජයසිංහ බැඩ්මින්ටන් මුල් පුටුවට

හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක නිශාන්ත ජයසිංහ, බැඩ්මින්ටන් සංගමයේ මහා සභා රැස්වීම අතරතුර දී පැවැත්වුණු නිලවරණයෙන් ඡන්ද 33ක් ලබා ගනිමින්…

2016 ඔක්තෝබර් 27 වන දා ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, නියෝජිතයන් තෝරා පත්කර ගන්නා වර්ෂයට අදාළ ගිණුම් වාර්තා විගණකාධිපතිට යොමු කළ යුතුය. වාර්තාව සම්පූර්ණ කොට මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් එය යොමු කළ යුතුවේ.

“බැඩ්මින්ටන් සංගමය විගණකාධිපතිවරයාට කිසිදු වාර්තාවක් ලබා නොදී නිලවරණය පවත්වා තිබෙන්නේ රෙගුලාසිවලට පිටිනුයි.” මාධ්‍ය හමුවේ දී එසේ සඳහන් විය.

ක්‍රීඩා සංගම් නිලවරණයක් පැවැත්වීමට ප්‍රථම විගණකාධිපතිවරයා විසින් ඊට අනුමැතිය ලබා දිය යුතුය. බැඩ්මින්ටන් සංගමය විසින් එය සිදු නොකොට නිලවරණය පවත්වා ඇත. එහිදී ඡන්ද 33ක් ලබා ගනිමින් සභාපතීත්වයට පත්වුණේ නිශාන්ත ජයසිංහ මහතායි. එම නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී නොමැති අතර බැඩ්මින්ටන් සංගමයට වාරණයක් පනවා ඇත.

මෙහි දී සඳහන් වූ විශේෂ කරුණක් වූයේ බැඩ්මින්ටන් සංගමය වසර 8ක් පුරාවට විගණන වාර්තා ඉදිරිපත් කර නොමැති බවයි.

“අවුරුදු 8ක් පුරාම විගණන වාර්තා ලබා නොදුන් ඔවුන් එක් දිනක දී වසර අටකම විගණන වාර්තා භාර දුන්නා.”

“සති දෙකකට කලින් තමයි විගණකාධිපතිවරයාට අවුරුදු 8කම වාර්තා ලැබී තියෙන්නේ. එවන් වාර්තාවක් දින දෙකක් තුළ දී ලබා දීම කළ නොහැක්කක්.”

මාධ්‍ය හමුවේ දී එසේ ද සඳහන් විය.

1973 වගන්ති අංක 33 ප්‍රකාරව ඇමතිවරයාට ලබා දී ඇති බලතලවලට අනුව සංගමයේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත්කරන අතර ගිණුම් වාර්තා තහවුරු කරන තෙක් එම කමිටුව බලාත්මක වේ. එම කමිටුවේ සුපරීක්ෂණය යටතේ මීළඟ නිලවරණය පසුව පැවැත්වෙනු ඇත.

“මේ වගේ දේවල් වලින් ක්‍රීඩකයන් තමයි අපහසුතාවට පත්වෙන්නේ. ජාතික සහ ජාත්‍යන්තර කියන අංශ දෙකේදීම මේ වගේ බරපතල තත්වයන් වාර්තා වෙනවා. ක්‍රීඩකයන්ට ඕන රටට ක්‍රීඩා කරන්න, ඒත් මේකෙන් ඔවුන් තමයි අමාරුවේ වැටෙන්නේ.”

එවන් අපහසුතාවලට ක්‍රීඩකයන් ලක්නොවන අන්දමේ තීරණ ක්‍රීඩා සංගම් විසින් ඉදිරියේ දී ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට