ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ නේපාලය

676
T20 New Records

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව ආරම්භ කරමින් පැවති නේපාලය සහ මොංගෝලියාව අතර තරගයේ දී නව ලෝක වාර්තා කිහිපයක් ම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට එක් කිරීමට නේපාලය සමත් වුනා.

එහි දී විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව, වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම, ලෝකයේ වේගවත් ම ශතකය, ලෝකයේ වේගවත් ම අර්ධ ශතකය, වැඩිම හයේ පහර එල්ල කරන ලද කණ්ඩායම සහ තෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව ලෙසින් වන වාර්තා ඊට එක් වෙනවා.  

2014 වසරේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නා නේපාලය එක්දින ජාත්‍යන්තර පිටියට එක් වෙන්නේ 2018 වසරේ දී.  

මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 58කට සහභාගී වී ඇති ඔවුන් ඉන් තරග 34ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. තරග 23ක දී පරාජය ට පත් ව ඇති ඔවුන්ගේ තරග ලැයිස්තුවේ නොවිසඳුණ තරගයක් ද තිබෙනවා. 

නේපාලයේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසය බෙදී යන්නේ මේ ලෙසින්. සහභාගී වී ඇති තරග 59ක්, ජයග්‍රහණ කළ තරග 30ක්, නොවිසදුණ තරගයක්, ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් සහ පරාජිත තරග 27ක් ලෙසයි.  

ඉනිමක දී වැඩිම ලකුණු වාර්තා කළ කණ්ඩායම් 

නේපාල කණ්ඩායම විසින් මෙම වාර්තාව තමන් නමට ලියා ගන්නේ කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 314ත් සමඟයි. එහි දී Kushal Malla නොදැවී ලකුණු 137ක් ද, Rohit Paudel ලකුණු 61ක් ද සහ Dipendra Singh Airee නොදැවී ලකුණු 52ක් ද ලබා ගන්නවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 300 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි 

  කණ්ඩායම  ලකුණු  ප්‍රතිවාදීන්  ක්‍රීඩාංගණය  දිනය 
1  නේපාලය  314/3   මොංගෝලියාව  Hangzhou  27, සැප්තැම්බර් 2023 
2  ඇෆ්ගනිස්තානය  278/3   අයර්ලන්තය  Dehradun  23, පෙබරවාරි 2019 
3  චෙක් රාජ්‍ය  278/4  තුර්කිය  Ilfov County  30, අගෝස්තු 2019 
4  ඕස්ට්‍රේලියාව  263/3  ශ්‍රී ලංකාව   පල්ලෙකැලේ  6, සැප්තැම්බර් 2016 
5  ශ්‍රී ලංකාව  260/6  කෙන්යාව  Johannesburg  14, සැප්තැම්බර් 2007 

එතෙක් මෙම වාර්තාවේ හිමිකරුවන් වී සිටි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එදා ආරම්භක පිතිකරු Hazratullah Zazai පන්දු 62ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 162ක් ලබා ගන්නවා.  

ඔහු Usman Ghani (73) සමඟ එක් වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 105ක දී ලකුණු 236ක් සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා.  

මෙම වාර්තාවේ තෙවැනි ස්ථානයට පත් ව සිටින්නේ චෙක් රාජ්‍යයයි. ඔවුන් 2019 වසරේ දී පැවති Continental Cup තරගාවලියේ දී තුර්කියට එරෙහිවයි මෙම වාර්තාව තබන්නේ.  

එය චෙක් රාජ්‍යයේ දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය වන අතර තුර්කියේ තෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයයි. මෙම තරගය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් වන සුදේශ් වික්‍රමසේකර සහ සමීර වත්තගේ සහභාගී වීම විශේෂත්වයක්.  

එහි දී සුදේශ් අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිස පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය එම ස්ථානයෙන් පිටියට පිවිසි පිතිකරුවන් ලබා ගත් ලකුණු අතර තෙවැනි ස්ථානයට ලැයිස්තු ගත දක්ෂතාවක් වන අතර ඔහු පන්දු 35ක දී ශතකය වාර්තා කරමින් වේගවත් විස්සයි විස්ස ශතක ලබා ගත් පිතිකරුවන් අතර සිව්වැනියා බවට පත් වුනා 

පන්දු යැවීමේ දී සමීර පන්දුවාර 3ක් යවමින් ලකුණු 4කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට නිලකුණු පන්දුවාර 2ක් එක් කිරීමට ද ඔහු සමත් වීම කැපී පෙනෙනවා.  

මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය ඕස්ට්‍රේලියාව සතු කර ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ඉනිමක නිරත වෙමින්. එම තරගයේ දී  ආරම්භක පිතිකරු Glenn Maxwell පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 145ක් ලබා ගන්නවා.  

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ප්‍රතිවාදීන් ඉදිරියේ ලබා ගත හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 178ක් පමණයි.  

මෙම ලැයිස්තුවට නැවත ශ්‍රී ලංකාව එක් වෙන්නේ වාර්තාගත ඉහළ ම ඉනිම් අතර 5 වැනි ස්ථානයට පත් වෙමින්. එම තරගයේ දී නායක මහේල ජයවර්ධන සහ සනත් ජයසූරිය අර්ධ ශතක ඉනිම් එක් කරන අතර තම මංගල විස්සයි විස්ස තරගයට එක් වූ ජෙහාන් මුබාරක් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.   

වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරග 

නේපාලය මෙම තරගයේ දී ලකුණු 273ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ ඉහළින් ම ජයග්‍රහණය ලැබූ කණ්ඩායම ලෙසින් වාර්තා පොත් අතරට එක් වුනා 

  ලකුණු පරතරය  කණ්ඩායම  ප්‍රතිවාදීන්   ක්‍රීඩාංගණය  දිනය 
1  273  නේපාලය 314/3 (20.0)  මොංගෝලියාව 

41/10 (13.1 ) 

Hangzhou  27, සැප්තැම්බර් 2023 
2  257  චෙක් රාජ්‍යය 278/4 (20.0)  තුර්කිය 

21/10 (8.3) 

Ilfov County  30, අගෝස්තු 2019 
3  208  කැනඩාව 

245/1 (20) 

පැනමාව 

37/10 (17.2) 

Coolidge  14, නොවැම්බර් 2021 
4  184  ටැන්සානියාව 218/6 (20.0)  කැමරූන් 

34/10 (12.3) 

Kigali  9, දෙසැම්බර් 2022 
5  184  මැලේසියාව 219/6 (20.0)  මියන්මාරය 

35/10 (15.5) 

Kuala Lumpur  30, ජුලි 2023 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් අතුරින් මෙම ලැයිස්තුවට පළමුවෙන් ම එකතු වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඔවුන් 2007 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 172ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මේ සමඟ එක් වෙනවා. ඒ එහි 8 වැනි ස්ථානයෙනුයි.   

Johannesburg හී පැවති එම තරගයේ ශ්‍රී ලංකා නායකත්වය මහේල ජයවර්ධන දැරූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 260ක් වාර්තා කරනවා. ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වන්නේ ලකුණු 88ක් පමණයි.  

විස්සයි විස්ස වේගවත් ම ශතක 

නිමා වූ මෙම තරගයේ දී Kushal Malla පන්දු 34කින් තම ශතකය වාර්තා කරන ලද අතර එතෙක් එම වාර්තාව සතුව තිබුණේ දකුණු අප්‍රිකාවේ David Miller වෙතයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව 2017 වසරේ දී පන්දු 35කින් ශතකය වාර්තා කරනවා.  

එම ලැයිස්තුවේ තෙවැනි සහ සිව්වැනි ස්ථානය පන්දු 35ක් බැගින් වැය කරමින් ශතක වාර්තා කළ ඉන්දියාවේ Rohit Sharma සහ චෙක් රාජ්‍යය නියෝජනය කළ ශ්‍රී ලාංකිකයෙක් වූ සුදේශ් වික්‍රමසේකරට හිමි වෙනවා.  

Rohit Sharma ශ්‍රී ලංකාවට එරෙහිව ද සුදේශ් වික්‍රමසේකර තුර්කියට එරෙහිව ද මෙම ඉනිම් ක්‍රියාත්මක කරනවා.  

එහි 5 වැනි ස්ථානය හිමි වෙන්නේ රුමේනියාවේ Sivakumar Periyalwar වෙතයි. ඔහු තුර්කියට එරෙහිව පන්දු 39කින් තම ශතකය සපුරා ගන්නවා.   

විස්සයි විස්ස වේගවත් ම අර්ධ ශතකය 

නේපාලයේ Dipendra Singh Airee මෙම තරගයේ දී පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගන්නවා. ඔහු තමන්ගේ එම ඉනිමේ 9 වැනි පන්දුවේ දී අර්ධ ශතකය වාර්තා කරමින් එතෙක් එම ලැයිස්තුවේ 2007 වසරේ සිට රැඳී සිටි ඉන්දියාවේ Yuvraj Singh ව දෙවැනි තැනට පත් කරනවා. Yuvraj Singh මෙම වාර්තාව හා සමඟ රැඳී සිටියේ එංගලන්තයට එරෙහිව පන්දු 12ක දී අර්ධ ශතකය රැස් කරමින්.  

මෙහි තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ඔස්ට්‍රියාවේ Mirza Ahsan. ඔහු ලක්ෂ්ඇම්බර්ගයට එරෙහිව පන්දු 13ක දී අර්ධ ශතකය වාර්තා කරමින් එම ස්ථානයට පත් වෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 14ක දී අර්ධ ශතකයක් වාර්තා කළ නවසීලන්තයේ Colin Munro සහ රුමේනියාවේ Ramesh Satheesan, සර්බියාවට එරෙහිව පන්දු 14ක දී අර්ධ ශතකය වාර්තා කරමින් මෙම ලැයිස්තුවට ඊට පසුව එක් වෙනවා.  

වැඩිම හයේ පහර වාර්තාව 

මෙම තරගයේ දී නේපාලය වැඩිම හයේ පහර එල්ල කිරීමේ වාර්තාව ද තමන් සතු කර ගන්නවා. එහි දී ඔවුන් හයේ පහර 26ක් එල්ල කරන ලද අතර ඊට ප්‍රථම එම වාර්තාව සතුව තිබුණේ ඇෆ්ගනිස්තානය සතුවයි. ඔවුන් අයර්ලන්තයට එරෙහිව හයේ පහර 22ක් එල්ල කරමින් වසර 4ක් තිස්සේ එම වාර්තාවේ එල්ලී සිටියා.  

මෙම ලැයිස්තුවේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන බටහිර ඉන්දීය කොදෙව්වන් සතු කර ගන්නවා. ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව හයේ පහර 22ක් එල්ල කරමින් ද සහ ඉන්දියාවට එරෙහිව හයේ පහර 21ක් එල්ල කරමින්.  

ඉන්දියාව මෙම ලැයිස්තුව හා 5 වැනි ස්ථානයෙන් එක් වෙනවා. ඒ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව 2017 වසරේ දී හයේ පහර 21ක් එල්ල කරමින්. එම තරගයේ දී ඉන්දීය නායක Rohit Sharma හයේ පහර 10ක් සමඟින් පන්දු 43ක දී ලකුණු 118ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව KL Rahul හයේ පහර 8ක් ද සහ MS Dhoni හයේ පහර 2ක් ද එල්ල කරනවා.  

තෙවැනි කඩුල්ලේ හොඳම සබඳතාව 

නේපාලයේ Kushal Malla සහ Rohit Paudel එක් ව මෙම තරගයේ දී තෙවැනි කඩුල්ලට ලබා ගන්නා ලද ලකුණු 193 මෙම කඩුල්ලේ හොඳම සබඳතාව ලෙසින් වාර්තා පොත් අතරට එක් වුනා 

මෙම වාර්තාව මීට පෙර හිමිව තිබුණේ නවසීලන්තයේ Devon Conway සහ Glenn Phillips එක්ව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2020 දී වාර්තා කරන ලද ලකුණු 184යි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින් ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<