ආසියානු රන් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

Asian Games 2023

872
Asian Games 2023

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන සමඟින් මේ වන විට ද අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

මෙවර තරගාවලිය සඳහා A කාණ්ඩයෙන් නේපාලය, මොංගෝලියාව සහ මාලදිවයින ද, B කාණ්ඩයෙන් කාම්බෝජය, හොංකොං සහ ජපානය ද සහ C කාණ්ඩයෙන් මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය ද එක් වෙනවා.

ඔවුන් අතර පළමු වටයේ තරග ඔක්තෝබර් 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එම කාණ්ඩ 3 ජයග්‍රාහකයන් පෙර කී කණ්ඩායම් සමඟින් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. එම වටයේ තරග ඔක්තෝබර් 03 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහභාගී වීමට නියමිතව ඇත්තේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයටයි. එම තරගය ඔක්තෝබර් 04 වැනිදා පැවැත්වීමට නියමිත අතර C කාණ්ඩයේ ජයග්‍රාහකයන් එම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

තරගාවලියේ අවසන් පූර්ව වටය ඔක්තෝබර් 06 වැනිදා පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තරගය ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වෙන්නේ ආසන්ත ම වසරේ රන් පදක්කම්ලාභී කණ්ඩායම ලෙසයි. 2014 වසරේ දකුණු කොරියාවේ පැවති තරගාවලියේ දී ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය ලකුණු 68කින් පරාජය කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

එම වසරේ දී රිදී පදක්කම ඇෆ්ගනිස්තානයට හිමි වූ අතර හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ බංග්ලාදේශය ලෝකඩ පදක්කම දිනා ගත්තා. එවර තරගාවලිය සඳහා රටවල් 10ක් සහභාගී වූ අතර ඊට ආසියානු කලාපයේ ප්‍රබලයන් ලෙසින් සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වූයේ නැහැ.

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ක්‍රිකට් ක්‍රීඩාව ඉසව්වක් ලෙසින් එකතු වන්නේ 2010 වසරේ දී වන අතර ආරම්භක ක්‍රීඩා උළෙලේ රන් පදක්කම බංග්ලාදේශය විසින් දිනා ගත්තා. එහි රිදී පදක්කම ඇෆ්ගනිස්තානය සතු වූ අතර පාකිස්තානය ලෝකඩ පදක්කමට හිමිකම් කිව්වා. ශ්‍රී ලංකාවට හිමි වූයේ තරගාවලියේ සිව්වැනි ස්ථානයයි.

පෙර අවස්ථා 2 දී ම ඉන්දියාව මෙම තරගාවලිය හා එක් නොවූ අතර ඔවුන් සමඟින් කාම්බෝජය, ජපානය, මොංගෝලියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල් ද මෙම තරගාවලිය හා එක් වෙන පළමු අවස්ථාව මෙයයි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම:

සහන් ආරච්ච්ගේ

27 හැවිරිදි වියේ පසුවන ඉදිරි පෙළ පිතිකරු සහන් ආරච්චිගේ කණ්ඩායමේ නායකයා ලෙසින් මෙම කණ්ඩායම හා එක් වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 2කට සහභාගී වී ඇති සහන්ගේ විස්සයි විස්ස තරග දක්ෂතාව තරග 51ක ඉනිම් 37ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් ලකුණු 650ක්.

ලසිත් කෲස්පුල්ලේ

2019 වසරේ දී කත්මණ්ඩු හී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ කෲස්පුල්ලේ නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී Galle Titans නියෝජනය කරමින් එම තරගාවලියේ නැගීඑන දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලැබීමට සමත් වුනා. එම තරගාවලියේ දී ඔහු තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 232ක් ලබා ගන්නවා.

කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන ඔහු මේ දක්වා පළමු පෙළ තරග 48ක ඉනිම් 82ක දී ලකුණු 3004ක් ලබා ඇති අතර විස්සයි විස්ස තරග 44ක ඉනිම් 44ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 900ක් ලබා සිටිනවා.

ශෙවෝන් ඩැනියෙල්

කොළඹ SSC කණ්ඩායම නියෝජනය කරන 19 හැවිරිදි වියේ පසුවන ශෙවෝන් ඩැනියෙල් මෙම කණ්ඩායම හා එක් වෙන්නේ ආරම්භක පිතිකරු වශයෙන්.

මේ වන විට විස්සයි විස්ස තරග 26ක ඉනිම් 24ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 614ක් ලබා සිටින ඩැනියෙල් LPL තරගාවලියේ දී Galle Titans නියෝජනය කරමින් තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 139ක් ලබා ගන්නවා.

අශේන් බණ්ඩාර

2019 වසරේ දී දකුණු ආසියානු රිදී පදක්කම්ලාභී කණ්ඩායම ද නියෝජනය කළ අශේන් බණ්ඩාර ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් මෙම කණ්ඩායම හා එක් වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර එක්දින සහ විස්සයි විස්ස වරම් දිනා ඇති අශේන් මේ දක්වා විස්සයි විස්ස තරග 58ක ඉනිම 12කට සහභාගී වෙමින් ශතකයක් සමඟින් ලකුණු 1125ක් ලබා සිටිනවා.

අහන් වික්‍රමසිංහ

22 හැවිරිදි වියේ පසුවන අහන් වික්‍රමසිංහ මැදපෙළින් පිටියට පිවිසෙන ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති අහන් මේ දක්වා විස්සයි විස්ස තරග 11ක දී ලබා ඇත්තේ ලකුණු 131ක් පමණයි.

ලහිරු උදාර

29 හැවිරිදි වියේ පසුවන ලහිරු උදාර මෙම කණ්ඩායම හා එක් වෙන්නේ කඩුලු රකින්නා ලෙසින්. ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ලහිරු මේ දක්වා එක්දින තරග 56ක ඉනිම් 52ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1030ක් ලබා සිටිනවා.

රවිඳු ප්‍රනාන්දු

23 හැවිරිදි වියේ පසුවන රවිඳු ප්‍රනාන්දු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින් මෙම කණ්ඩායම හා එක් වෙනවා. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 22ක ඉනිම් 36ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1293ක් ලබා ඇති අතර ඉනිම 37ක දී පන්දු යවමින් කඩුලු 59ක් ලබා සිටිනවා.

රනිත ලියනාරච්චි

29 හැවිරිදි වියේ පසුවන රනිත ලියනාරච්චි මෙම කණ්ඩායම හා එක් වෙන්නේ දකුණතින් ආරම්භක වේගපන්දු යවන්නෙක් ලෙසයි. කෙසේ වෙතත් පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 20ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 386ක් ලබා තිබෙන අතර දකුණතින් වේග පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 13ක්.

නුවනිඳු ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා සිටින 23 හැවිරිදි වියේ පසුවන නුවනිඳු ප්‍රනාන්දු මෙම කණ්ඩායම හා එක් වෙන්නේ මැද පෙළ පිතිකරුවෙක් ලෙසයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 42ක ඉනිම් 40ක දී ශතකයක් සමඟින් ලකුණු 921ක් ලබා සිටිනවා.

සචිත ජයතිලක

26 හැවිරිදි වියේ පසුවන සචිත ජයතිලක මෙම කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 37ක ඉනිම් 34ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 506ක් ලබා ඇති අතර පා දඟපන්දු යවන්නෙක් ලෙසින් ලබා ඇති විස්සයි විස්ස කඩුලු ප්‍රමාණය 22ක්.

විජයකාන්ත් වියස්කාන්ත්

21 හැවිරිදි වියේ පසුවන විජයකාන්ත් වියස්කාන්ත් මෙම කණ්ඩායම හා එක් වෙන්නේ ප්‍රධාන පා දඟපන්දු යවන්නා ලෙසයි. Jaffna Kings කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් ව ඇති ඔහු මේ දක්වා විස්සයි විස්ස තරගවල දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 33ක්.

නිමේශ් විමුක්ති

26 හැවිරිදි වියේ පසුවන නිමේෂ් විමුක්ති වමත් පිතිකරුවෙක් සහ වමත් දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වමින් මෙම කණ්ඩායම හා එක් වෙනවා. ඔහු මේ දක්වා පිතිකරුවෙක් ලෙසින් විස්සයි විස්ස තරග 37ක ඉනිම් 30ක දී ලකුණු 265ක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 45ක් ද ලබා සිටිනවා.

ලහිරු සමරකෝන්

වමත් ප්‍රවේගවත් පිතිකරුවෙක් සහ දකුණතින් මද වේගපන්දු යවන 26 හැවිරිදි වියේ පසුවන ලහිරු සමරකෝන් මෙම කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 48ක ඉනිම් 37ක දී ලකුණු 598ක් ද සහ කඩුලු 41ක් ද ලබා සිටිනවා.

පළමු පෙළ තරග පිටියේ ඔහුගේ දක්ෂතාව තරග 50ක ඉනිම් 80ක දී ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලබා ගත් ලකුණු 1576ක් සහ ලබා ගත් කඩුලු 103ක්.

නුවන් තුෂාර

කණ්ඩායමට එක් වෙන ප්‍රධාන දකුණත් වේගපන්දු යවන්නා වෙන්නේ 29 හැවිරිදි වියේ පසුවන නුවන් තුෂාර. විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ද හිමි ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග ඉනිම් 77ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 103ක්.

ඉසිත විජේසුන්දර

26 හැවිරිදි වියේ පසුවන ඉසිත විජේසුන්දර මේ දක්වා විස්සයි විස්ස පිටියේ තරග 13ක ඉනිම් 8ක දී ලකුණු 46ක් සහ කඩුලු 15ක් දවා ගනිමින් මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා.

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<