එංගලන්තයට සීමා වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නවසීලන්තයටත්!

192

කල්තියා සැලසුම්කොට තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සියල්ලක්ම පාහේ නියමිතව තිබූ කාලසටහන්වලට අනුව දියත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් වයිට් මහතා ඊයේ (11) පැවති සාකච්ඡාවක් අතරතුර දී සඳහන් කර සිටියේය.

පරුෂ වචනයේ ආදීනව කියා දුන් පියා දුන් දඬුවම!

COVID-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් එරට රජය සහ සෞඛ්‍ය අංශ අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයකට එළඹි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකොට තිබුණි. 

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ මුල් වකවානුව තුල දී රෝගය පාලනය කිරීම තරමක් අපහසු මට්ටමක පැවති නමුත් එරට වගකිව යුතු ඉහළම නිලධාරියාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා නිර්දේශ කළ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් පැවති අයහපත් වාතාවරණය සම්පූර්ණයෙන්ම පාහේ මැඬපැවැත්වීමට දායක විය. ඒ අනුව පසුගිය දා නවසීලන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ 100වන දිනය ලෙස වාර්තා පොත් අතරට එක්වූයේ ඔවුන් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය මනාවට කියාපාමිනි.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තාන, ඕස්ට්‍රේලියානු සහ බංග්ලාදේශ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් නුදුරේ දී ම නවසීලන්තයේ තරග සංචාරය කිරීමට සැලසුම් සකස් කිරීමට නියමිත අතර ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද නවසීලන්තයට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ.

LPL ආයෙත් කල් යයි

“මම දැන් විනාඩි කිහිපයකට කලින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක සාකච්ඡා කළා. ඔවුන් ස්ථිර වශයෙන්ම කියා සිටියා තරගාවලිය සැලසුම් කළ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න සහය ලබා දෙනවා කියලා. පාකිස්තාන, ඕස්ට්‍රේලියානු සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන වලිනුත් මේ වෙනකොට ඉදිරි තරග සංචාර සඳහා යහපත් ප්‍රතිචාර ලැබිල තියෙන්නේ. මේක අපි ලබපු ලොකු ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නේ.”

“White Ferns කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරය කරන්න සූදානමින් ඉන්නවා වගේම පෙබරවාරි මාසයේ දී ඔවුන් මෙරටට පැමිණීමට නියමිතයි. තරගාවලියේ සංයුතිය සම්බන්ධයෙන් තාමත් එකඟතාවකට පැමිණිලා නැති වුනත් බොහෝ දුරට එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. නිරෝධායන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ තාමත් දෙරටේම රජයේ පාර්ශවයන් සාකච්ඡා කරමින් යනවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නිසා සංවිධාන කටයුතු ගොඩක් පහසුවෙලා තියෙනවා” යනුවෙන් වයිට් මහතා සවිස්තරාත්මක වාර්තාවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.

ICC ඉදිරි තරග සංචාර වැඩසටහනට අනුව කොදෙව් සහ පාකිස්තාන තරග සංචාරයන් ICC ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර බංග්ලාදේශ සහ ඕස්ට්‍රේලියානු තරගාවලි සීමිත පන්දුවාර තරග ආකෘතීන්ගෙන් දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<