“අඩුම ගානේ මගේ 800 වැනි කඩුල්ලවත් දෙන්න” – මුරලි

2337

මුත්තයියා මුරලිදරන් ‘එතෙක් මෙතෙක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහිවූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා’ ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. 

Vivo නැති නිසා IPL මූල්‍ය අර්බුදයක?

2010 වසරේ ඉන්දීය කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙන විට මුත්තයියා මුරලිදරන්, ටෙස්ට් පිටිය තුළ දවා ගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 800කි. ඉන් වසර 10ක් ගතව ඇතත් මුරලිදරන්ගේ වාර්තාවලට ආසන්න විය හැකි කිසිවෙකු තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ දක්නට නැත. 

වසර ගණනාවක් පුරා ටෙස්ට් පන්දු යවන්නන් අතර මුල් පුටුව සඳහා මුත්තයියා මුරලිදරන් සහ ශේන් වෝන් අතර පැවතියේ තියුණු තරගයකි. නමුත් මුරලිදරන් සිය ටෙස්ට් දිවිය නිමා කළේ ශේන් වෝන්ට වඩා කඩුලු 92ක් තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි. 

මුරලිදරන් ඉන්දීය තරගයේ අවසන් අවස්ථාව වන විටත් දවා ගෙන තිබුණේ කඩුලු 799කි. අවසන් කඩුල්ල දවා ගැනීම සඳහා ඔහුට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. 

ඉන්දීය තරගාවලිය ආරම්භ වීමට පෙර මුරලි කඩුලු 792ක් දවා ගෙන තිබූ අතර 800 සීමාව පසුකර යාමට මුරලිට අවශ්‍යව තිබුණේ කඩුලු 8ක් පමණි. බොහෝ දෙනා අනුමාන කළේ මුරලිදරන් ඉන්දීය තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කරමින් කඩුලු 800 සීමාව පසුකර යනු ඇති බවයි. එහෙත් මුරලි ඊට හාත්පසින්ම වෙනස් තීරණයක් ගත්තේය. ඒ පළමු තරගය පමණක් ක්‍රීඩා කරමින් විශ්‍රාම ගැනීමටය. ඒ අනුව එම තරගයේ දී ඔහුට දවා ගැනීමට අවශ්‍ය වූ කඩුලු සංඛ්‍යාව 8කි. 

බොහෝ දෙනා පුදුමයට පත්කරමින් එම තරගයේ දී තම ඉලක්කය සපුරා ගැනීමට මුරලිදරන් සමත් වූයේ දශක ගණනාවකට නොබිඳිය හැකි වාර්තාවක් තමන් සතුකර ගනිමිනි.  

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් තම ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 520ක් ලෙස සටහන්ව තිබිය දී ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. 

තරගයේ දෙවැනි දිනය මුළුල්ලේම ගාල්ලට වැසි ඇද හැළුණි. නමුත් මුරලි සිය බලාපොරොත්තු අත්හැර ගත්තේ නැත. ඔහු පළමු ඉනිමේ දී ඉන්දීය කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. එය ඔහුගේ 67 වැනි සහ අවසන් කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාව ලෙස සටහන් විය. මුල් ඉනිමේ දී සචින් ටෙන්ඩුල්කාර්, යුවරාජ් සිං, මහේන්ද්‍ර සිං දෝනි, ප්‍රයාශ් ඕජා සහ අභිමන්යු මිතුන් මුරලි හමුවේ දැවී ගියේය. 

ඉන්දීය කණ්ඩායම ලකුණු 276කට සීමා වූ අතර ඔවුන් නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. ඒ වන විට ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන්නා වූ ලසිත් මාලිංග, ඉන්දීය දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඉන්දීය ක්‍රීඩක වී. වී. එස්. ලක්ශ්මන්, මුත්තයියා මුරලිදරන්ගේ බලාපොරොත්තු තරමක අසීරු ස්ථානයකට ගෙන ආවේ ඉන්දීය පසුපෙළ සමඟින් සම්බන්ධතා කීපයක් ගොඩනගමිනි. 

LPL ආයෙත් කල් යයි

ඉන්දීය කණ්ඩායමේ කඩුලු 9ක් දැවී යන විට මුරලිදරන් කඩුලු 799 සීමාවේ සිටියේය. ඒ දෙවැනි ඉනිමේ දී ඔහු දවා ගත් කඩුලු දෙකත් සමඟිනි. 

මුරලිදරන්ගේ ටෙස්ට් දිවියේ අවසානය තවත් අසම්පූර්ණ අවසානයක් වනු ඇති බවක් පෙනෙන්නට තිබුනත් සිය උත්සාහය අත්නොහල මුරලිදරන්, ඉන්දීය පසුපෙළට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් විය. අවසානයේ දී ප්‍රයාශ් ඕජාගේ පිත්තේ කෙළවර වැදුණු පන්දුව ස්ලිප් ක්‍රීඩකයා වෙත ඇදී ගියේය. ස්ලිප් ක්‍රීඩකයා ලෙස කටයුතු කළේ අන් කවරෙකුත් නොව මුරලිදරන්ගේ ප්‍රබලතම උඩ පන්දු සගයා වූ මහේල ජයවර්ධනය. 

මහේල රැකගත් ඒ උඩපන්දුව මුරලිදරන්ගේ කඩුලු 800 සීමාව මෙන්ම තරගයේ ජයග්‍රහණය ද සටහන් කළේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ජය ඝෝෂා මධ්‍යයේය. 

වසර 10කට පසු මෙම තරගයේ රසමුසු අවස්ථා කීපයක් ආවර්ජණය කිරීමට පසුගිය දා මුත්තයියා මුරලිදරන් එක්ව සිටියේය. 

ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමඟින් YouTube ඔස්සේ කතාබහකට එක්ව සිටි මුරලිදරන්, ඉෂාන්ට් ෂර්මා සහ ඕජා අතර පැවති අවසන් කඩුල්ලේ සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වා තිබුණි. එහි දී මුරලි එක් හාස්‍යජනක සිදුවීමක් ද සිහිපත් කළේය. 

මුරලිගේ 800 වැනි කඩුල්ල ලෙස ඕජා දැවී යන විට අනෙක් අන්තයේ සිටියේ ඉෂාන්ට් ශර්මාය.  

ඒ තරගයේ විවේක කාලයක දී මම ඉෂාන්ට් ෂර්මාට කතා කළා. මම ඔහුට කිව්වා ‘ඔයා දැන් ගොඩක් වෙලා කඩුල්ලේ හිටියා. එකක් ගහලා කඩුල්ල මට දෙන්න’ කියලා. ‘ඔයා තමයි අන්තිම කඩුල්ල’ කියලත් මම කිව්වා. ඔයා කඩුල්ලේ හිටියා කියලා ලොකු දෙයක් කරන්නෙත් නැහැ. ඔයා ලකුණු ගන්නෙත් නැහැ. අඩුම ගානේ මගේ 800 වැනි කඩුල්ලවත් මට දෙන්න කියලා’ මම ඔහුට කිව්වා.”  

ඊට පස්සේ ඉශාන්ට් ශර්මා මට කිව්වා ඔහු එහෙම මෝඩ වැඩක් කරන්නේ නෑ කියලා. මට ඕජාව දවා ගන්න ලැබුණු එක වාසනාවක්” මුරලි තවදුරටත් පවසා සිටියේය. 

මරාගෙන මැරුනත් මැච් එක අත් නොහැරිය උපුල් චන්දන

මුත්තයියා මුරලිදරන් සිය අවසන් ටෙස්ට් තරගය අමතක නොවන තරගයක් බවට පත්කර ගැනීමට සමත් වූ අතර එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට ද සමත් විය. 

මුත්තයියා මුරලිදරන් ‘මෙම සියවස තුළ ලොව බිහි වූ වටිනාම ක්‍රීඩකයා’ ලෙස පසුගියදා wisdom සඟරාව විසින් නම් කළේය. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<