ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1962-1970)​

507

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක යුගය ගෙවී ගියේ උරුගුවේ සහ ඉතාලියේ ආධිපත්‍යය යටතේ ය. කෙසේ නමුත් 1954 ලෝක කුසලානයේ දී ජර්මනිය ශූරයින් බවට පත්වෙමින් පාපන්දු පිටියේ සිය අණසක පතුරුවා ගත්තේ හංගේරියාවට දෙවැනි වරටත් අනුශූරතාවය හිමිකර දෙමිනි. 1950 වසරේ දී සිය රට තුළම පාපන්දු ලෝක කුසලානයක පහස විඳගන්නට ලැබුණු අගනා අවස්ථාව මඟහැරීමෙන් අනතුරුව බ්‍රසීලය 1958 වසරේ දී සත්කාරක ස්වීඩනය පරාජය කරමින් සිය මංගල ලෝක කුසලානය දිනා ගන්නේ එදා මෙදා තුර පාපන්දු ක්‍රීඩාව තුළ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් පෙරමුණ ගන්නා පේලේගේ නැඟී ඒමත් සනිටුහන් කරමිනි.

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත්..

බ්‍රසීලයට අඛණ්ඩ ශූරතාවයන් – 1962

Brazilian skipper lifting the trophy in 1962 (Image courtesy – Getty Images)

ඇමෙරිකාව සහ යුරෝපය කේන්ද්‍ර කර ගත් කණ්ඩායම් 16ක සහභාගීත්වය යටතේ පැවති මෙම ලෝක කුසලාන තරගාවලිය එම කලාප දෙක පමණක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූ අවසාන ලෝක කුසලාන තරගාවලිය විය. එමෙන්ම මෙය කොලොම්බියාවේ මෙන්ම බල්ගේරියාවේ ද පළමු ලෝක කුසලාන තරගාවලිය ද විය. චිලී රාජ්‍යයේ නගර 4ක්; ‘Vina del Mar’, ‘Rancagua’, ‘Arica’ සහ ‘Santiago’ අගනුවර කේන්ද්‍ර කරගනිමින් තරග පවත්වනු ලැබූ අතර අවසාන මහා තරගය පැවතියේ ‘Santiago’ අගනුවරයි.

මෙම තරගාවලියේ දී හංගේරියානු පාපන්දු වීරවරයෙක් වන ෆෙරෙන්ක් පුස්කස්, ජෝස් සැන්ටමාරියා සහ ජෝස් ඇල්ටාෆිනි ලෝක කුසලාන තරගාවලිවල දී රටවල් දෙකක් නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් බවට පත්වීම විශේෂත්වයකි. එය පදනම් කර ගනිමින්; “ක්‍රීඩකයෙක් ලෝක කුසලාන තරගාවලියක් තුළ දී හෝ ඊට සුදුසුකම් ලබා ගැනීමේ වටවල දී එක් රටක් නියෝජනය කරමින් ක්‍රීඩා කළේ නම් ඔහුට පසුව වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කළ නොහැක” යනුවෙන් නීතියක් ගෙන ඒමට ද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කරනු ලැබීය.

The infamous ‘Battle of Santiago’ (Image courtesy – Getty Images)

ජෝස් ඇල්ටාෆිනි 1958 වසරේ දී එහි ශූරතාවය දිනා ගත් බ්‍රසීල කණ්ඩායම නියෝජනය කරනු ලැබුවත් මෙහි දී ඔහු නියෝජනය කරනු ලැබුවේ ඉතාලි කණ්ඩායම යි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ; “බ්‍රසීලය විදේශීය පදනමක ක්‍රීඩකයින්ට කතා කළේ නැහැ. මම බ්‍රසීලය අත්හැරියා නෙමෙයි. බ්‍රසීලය තමයි මාව අත්හැරියේ.” පුස්කස් මෙන්ම මීට පෙර උරුගුවේ කණ්ඩායම නියෝජනය කළ සැන්ටමාරියා ද මෙවර ක්‍රීඩා කළේ ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙනි.

Estadio Nacional during the finals in 1962 (Image courtesy – Foto-net)

එක් පසෙකින් සත්කාරක චිලී රාජ්‍යය ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කළ බ්‍රසීලයත්, අනෙක් පසින් යුගොස්ලෝවියාව ගෝල 1-3ක් ලෙස පරාජයට පත්කළ චෙකොස්ලෝවැකියාවත් අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගන්නට සමත් විය.

ප්‍රංශය දෙවන වතාවටත් ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබයි

වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝකයේ මහා සැණකෙළියේ අවසන්…

1962 ජුනි මස 17 වන දින ‘Santiago’ අගනුවර ‘The Estadio Nacional’ ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය නිමාවට පත්වූයේ බ්‍රසීලය අඛණ්ඩව දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරමිනි. චෙකොස්ලෝවැකියාව විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඉදිරියට පැමිණියත් ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ බ්‍රසීලය ගෝල 3ක් වාර්තා කරගන්නට සමත් විය. ඒ ආකාරයට තරගය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ නායක මෝරෝ රාමොස් ‘ජූල්ස් රිමෙට්’ කුසලානය සිය දේශයට රැගෙන යන්නට සමත් විය. 1958 වසරේ දී ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ නායකත්වය දැරූ හිල්ඩෙරාල්ඩෝ බෙලීනි ද මෙම කණ්ඩායමේ සාමාජිකයෙක් විය.

බ්‍රසීලය නියෝජනය කළ ගැරින්චා සහ වාවා, ලියෝනෙල් සැන්චෙස් (චිලී), ෆ්ලොරියන් ඇල්බර්ට් (හංගේරියාව), වැලන්ටින් ඉවනොව් (සෝවියට් රුසියාව) සහ ඩ්‍රසාන් ජෙර්කොවික් (යුගොස්ලෝවියාව) ගෝල 4 බැගින් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම ගෝල ලාභීන් බවට පත්විය.

තවදුරටත් මෙම ලෝක කුසලාන තරගාවලිය සියලුම ටිකට්පත් ඇමෙරිකානු ඩොලර් වලින් නම් කළ පළමු තරගාවලිය වූ අතර යුරෝපයේ සජීවීව විකාශය කිරීමට නොහැකි වූ අවසාන තරගාවලිය ද විය.

තරගයේ නිර්මාතෘවරුන්ට ලෝක කුසලානයක් – 1966

England winning the title on home soil (Image courtesy – AP)

තරගාවලිය ආරම්භ වන්නට මාස 3කට පෙර ලන්ඩන් නුවර පැවති ප්‍රදර්ශනයක දී ‘ජූලිස් රිමෙට් කුසලානය’ සොරා ගනු ලැබූ නමුත් පසුව එය ලන්ඩන් නුවර ආසන්නයේ දී ‘Pickles’ නමැති සුනඛයෙකු විසින් සිය අයිතිකරු වූ ඩේවිඩ් කෝබෙට් සමඟ ඇවිදිමින් සිටිය දී සොයා ගනු ලැබීය.

‘Mascot’ එකක් සහිතව පවත්වනු ලැබූ පළමු ලෝක කුසලාන තරගාවලිය මෙය වූ අතර මෙම තරගාවලියේ ‘Mascot’ වූයේ ‘World Cup Willie’ නමැති සිංහයෙකි. නගර 7ක ක්‍රීඩාංගණ 8ක් කේන්ද්‍ර කරගනිමින් තරග පැවති අතර එහි දී ලන්ඩන් නුවර ‘Wembley’ සහ ‘White City Stadium’ ක්‍රීඩාංගණ දෙකම තරග සඳහා යොදා ගනු ලැබීය.

ඒ වන විට පාපන්දු ශූරයින් වූ බ්‍රසීලය මෙම තරගාවලියට ද ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ සිය පළමු තරගයේ දී බල්ගේරියාව ගෝල 2-0ක් ලෙස පරාජය කරමිනි. එහි දී පේලේ සහ ගැරින්චා විසින් ගෝල වාර්තා කර ගනු ලැබූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා අඛණ්ඩ ලෝක කුසලාන තරගාවලි 3ක දී ගෝල වාර්තා කර ගනු ලැබූ පළමු ක්‍රීඩකයින් දෙපළ ලෙස ඉතිහාස පොත් අතරට එක්විය.

පසුව පැවති බල්ගේරියාව සමඟ තරගයක දී පේලේ ආබාධයකට ලක්වීම නිසා ඔහුට හංගේරියාව සමඟ තරගයට සහභාගී වීමට නොහැකි වූ අතර එම තරගය ඔවුන් ගෝල 3-1ක් ලෙස පරාජයට පත්විය. 1958 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභීන් අතරින් කෙනෙක් වූ ෆ්ලොරියන් ඇල්බර්ට්ගේ දස්කම් හමුවේ ඒ ආකාරයට බ්‍රසීලය 1954 ලෝක කුසලානයෙන් පසුව සිය පළමු ලෝක කුසලාන තරගය පරාජයට පත්විය.

ඉන් අනතුරුව ඔවුන් සහභාගී වූ පෘතුගාලයට එරෙහි තරගය ද ගෝල 1-3ක් ලෙස ඔවුන් පරාජයට පත්වූ අතර එහි දී එවකට යුරෝපියානු පාපන්දු ක්‍රීඩකයා වූ යුසේබියෝ ගෝල 2ක් වාර්තා කරගැනීමට සමත් විය.

Eusebio became the top scorer of the tournament with 9 goals (Image courtesy – Getty Images)

මිඩ්ල්ස්බරෝ නුවර ‘Ayresome Park’ ක්‍රීඩාංගණයේ දී ප්‍රබල ඉතාලියට, උතුරු කොරියාව හමුවේ ගෝල 0-1ක අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර ඒ අනුව උතුරු කොරියාව මීළඟ වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට සමත් විය. යුරෝපයෙන් හෝ අමෙරිකාවෙන් පිටත කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන් ඔබ්බට ගිය පළමු අවස්ථාව මෙය වූ අතර නැවත වරක් එවන් දක්ෂතාවයක් දක්වන්නට සමත් වන්නේ 1986 වසරේ දී මොරොක්කෝ කණ්ඩායම යි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී උතුරු කොරියාව ගෝල 3-0ක් ලෙස පෘතුගාලය හමුවේ ඉදිරියෙන් රැඳෙන්නට සමත් වුවත් ‘Black Panther’ අනුවර්ත නාමය ලත් යුසේබියෝගේ දක්‍ෂතා හමුවේ තරගය අවසානයේ ගෝල 3-5ක ජයක් හිමි කර ගන්නට පෘතුගාල කණ්ඩායම සමත් විය.

ප්‍රංශ අවදානම් කළමනාකරණයේ ආදර්ශය – ඩිඩියර් ඩෙෂාම්ප්

වීරසිංහ බියගුල්ලෙකු විය හැකිය. ගුණරත්න ගුණමකුවෙකු විය හැකිය. එහෙත්…

එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයේ දී ආර්ජෙන්ටිනාව පරාජය කරනු ලැබූ අතර ඒ අනුව ඔවුන්ට අවසන් පූර්ව තරගයේ දී පෘතුගාලය සමඟ තරග වැදීමට සිදු විය. ඒ වන විට තරග 4ක දී ගෝල 14ක් වාර්තා කරගෙන සිටි යුසේබියෝ අභිබවමින් දක්‍ෂතා ප්‍රදර්ශනය කළ එංගලන්ත කණ්ඩායමේ බොබී චාල්ටන් ගෝල 2ක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යන්නට සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගය ද ගෝල 2-1ක් ලෙස නිමාවට පත්වූ අතර එහි දී ෆ්‍රෑන්ස් බෙකන්බෝර් විශිෂ්ට ගෝලයක් වාර්තා කර ගනිමින් බටහිර ජර්මනිය, සෝවියට් දේශය පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට මෙහෙයවන්නට සමත් විය.

England celebrates at the final whistle (Image courtesy – PA)

‘Wembley’ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් 98,000ක් ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර එහි දී තරගයේ පළමු ගෝලය වාර්තා කර ගත් හෙල්මට් මුලර් බටහිර ජර්මනිය තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය. නමුත් ඉන් අනතුරුව එංගලන්තය වෙනුවෙන් ජෙෆ් හර්ස්ට් සහ මාටින් පීටර්ස් ගෝල වාර්තා කර ගනිමින් තරගයේ වාසිය එංගලන්තය දෙසට යොමුකර ගන්නට සමත් විය. කෙසේ නමුත් තරගයේ 89 වන මිනිත්තුවේ දී වුල්ෆ්ගැන් වෙබර් බටහිර ජර්මනිය වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි.

ඒ අනුව තරගයේ තීරණය අතිරේක කාලයට යොමු වූ අතර එහි දී හර්ස්ට් එල්ල කළ පහරක් ගෝල රාමුවේ වැදී ගෝල ඉර මත පතිත විය. කෙසේ නමුත් එය ගෝලයක් ලෙස විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එංගලන්තය නැවතත් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. ඒ අවස්ථාවේ දී පන්දුව ගෝල ඉර ඉක්මවා ගොස් පතිත වුවාද? නැද්ද? යන්න අදටත් පාපන්දුලෝලීන් විවාද කරයි. කෙසේ නමුත් මිනිත්තු කිහිපයකින් අනතුරුව තවත් ගෝලයක් වාර්තා කර ගත් හර්ස්ට් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරගනිමින් එංගලන්තයට ඉතිහාසයේ පළමු වරට පාපන්දු ලෝක කුසලානය හිමි කර දෙන්නට සමත් විය.    

ඒ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කර ගත් පළමු ක්‍රීඩකයා වන්නට ජෙෆ් හර්ස්ට්ට හැකි විය. එංගලන්ත කණ්ඩායමේ නායක බොබී මුවර් හට දෙවන එලිසබෙත් රැජිණගේ සුරතින් කුසලානය පිරිනැමුණු අතර ඒ ආකාරයට එංගලන්තය සිය පළමු පාපන්දු කුසලානය දිනා ගන්නට සමත් විය. තරගාවලිය තුළ ගෝල 9ක් වාර්තා කර ගත් යුසේබියෝ හට වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව පිරිනැමිණ. මෙම 1966 ලෝක කුසලාන අවසන් මහා තරගය කළු-සුදු විකාශයක් කරනු ලැබූ අවසන් තරගය ද විය.

‘ජූල්ස් රිමෙට් කුසලානය’ සදාකාලයටම බ්‍රසීලයට – 1970

Brazil on the summit (Image courtesy – Getty Images)

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය යුරෝපයෙන් සහ දකුණු ඇමෙරිකාවෙන් ඉවත්ව 1970 වසරේ දී එය මෙක්සිකෝවට හිමි විය. එමෙන්ම ලොවපුරා වර්ණ විකාශයක් සිදු කළ පළමු ලෝක කුසලාන තරගාවලිය ද මෙය වන අතර තරගාවලිය පුරාවට විශිෂ්ට ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ බ්‍රසීලය තෙවන වරටත් පාපන්දු ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබන්නට සමත් විය.

පෙර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ඉවත්ව යාමට සිදුවුවත් ඒ වන විටත් බ්‍රසීල පාපන්දු සංචිතය ලෝව විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම් අතරින් එකක් විය. පේලේ සමඟ ඉදිරි පෙළ ක්‍රීඩා කළ ජේසීනියෝ මෙහි දී සියලුම තරගවල දී ගෝල වාර්තා කර ගැනීමට සමත් විය. තවදුරටත් ගර්සන්, ටෝස්ටාවෝ සහ රිවෙලිනෝ ඔවුන්ගේ ඉදිරිපෙළ ශක්තිමත් කරනු ලැබූ අතර ඔවුන්ට අවස්ථාවන් නිර්මාණය කර දීමේ වගකීම මාරියෝ සගාලෝ ප්‍රමුඛ මැදපෙළ ඉටු කරනු ලැබීය.

Widely regarded as the greatest national team ever (Image courtesy – Getty Images)

ක්‍රීඩාංගණ පැවති උස සහ දැඩි උෂ්ණත්වය ක්‍රීඩකයින්ට දැඩි අපහසුතා ගෙන දෙනු ලැබූ අතර යුරෝපීය රූපවාහිනී කාලසටහන්වලට අනුකූල වන්නට තරග රැසක් ආරම්භ කරනු ලැබුවේ සවස් යාමයේ දී ය. උසම ස්ථානයක පැවති ක්‍රීඩාංගණය වූ ‘Toluca’ ක්‍රීඩාංගණය මීටර 2660ක උසින් පැවති අතර පහතින්ම පැවති ක්‍රීඩාංගණය වූ ‘Guadalajara’ ක්‍රීඩාංගණය පැවතියේ මීටර 1500ක උසින් ය.

කණ්ඩායමකට එක් තරගයක දී ක්‍රීඩකයින් ආදේශක 2ක් හිමි වූ අතර කහ සහ රතු කාඩ්පත් ද හඳුන්වා දෙනු ලැබීය. නගර 5ක් කේන්ද්‍ර කරගනිමින් තරග පැවති අතර බොහෝ අවස්ථාවන් හිදී කණ්ඩායම් එම ක්‍රීඩාංගණ පැවති උස සමඟ ඇතිවූ තත්වයට අනුගත වීම සඳහා කල් ඇතිව ක්‍රීඩාංගණවලට පැමිණෙන ලදි. තරගාවලියේ ආරම්භක තරගය වූ මෙක්සිකෝව සහ සෝවියට් දේශය අතර තරගයේ දී ඇනටොලී පුසාච් තරගයට ආදේශ කරනු ලැබූ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ආබාධයක් සඳහා නොවන ක්‍රීඩක ආදේශ කිරීම ලෙස ඉතිහාසයට එක්විය.

තරගාවලියේ පළමු වටයේ දී ඒ වන විට පාපන්දු ශූරයින් වූ එංගලන්තය සහ ප්‍රබල බ්‍රසීලය තරග වැඳී අතර එහි දී ජේසීනියෝ තරගයේ ජයග්‍රාහක ගෝලය වාර්තා කර ගනු ලැබීය. එංගලන්තයට එහි දී ගෝලයක් වාර්තා කරගන්නට පහසු අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවායින් ප්‍රයෝජන ලබා ගන්නට අසමත් විය. 1934 වසරේ දී ඊජිප්තුවෙන් අනතුරුව ලෝක කුසලානයක් සඳහා සහභාගී වූ පළමු අප්‍රිකානු කණ්ඩායම ලෙස මොරොක්කෝ කණ්ඩායම මෙම තරගාවලියට එක්වූ අතර ජර්ඩ් මුලර් මෙහි දී බර්ගේරියාව සහ පීරු සමඟ තරග 2ක දී ගෝල ත්‍රිත්වයන් වාර්තා කිරීම විශේෂ අවස්ථාවක් විය.

‘Game of the Century’ – West Germany and Italy before kickoff (Image courtesy – YouTube.com)

එහි දී ඉතාලිය සහ බටහිර ජර්මනිය අතර පැවති අවසන් පූර්ව තරගය සියවසේ පාපන්දු තරගය ලෙස බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය. එහි දී නියමිත කාලයේ දී තරගය ගෝල 1-1ක් ලෙස සම තත්වයේ පැවති අතර ඒ අනුව තරගයේ තීරණය අතිරේක කාලයට යොමු විය. එහි දී අතිරේක කාලය තුළ ගෝල 5ක් වාර්තා වූ අතර ගෝල 3-3ක් ලෙස තරගය සම තත්වයේ තිබිය දී ඉතාලිය වෙනුවෙන් තරගයේ 111 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කර ගත් ජිආනි රිවා සිය කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට රැගෙන යන්නට සමත් විය. ඒ 1938 වසරෙන් පසුව ඔවුන් සුදුසුකම් ලබාගත් පළමු අවසන් තරගය විය.

ඒ අනුව බ්‍රසීලය සහ ඉතාලිය අතර අවසන් මහා තරගය ජුනි මස 21 වන දින ‘Estadio Azteca’ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. බ්‍රසීලය වෙනුවෙන් පේලේ තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවත් ඉතාලියේ බෝනින්සෙග්නා ගෝලයක් වාර්තා කරගත්තේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි. අනතුරුව බ්‍රසීලය දෙවන අර්ධයේ දී තවත් ගෝල 3ක් වාර්තා කරගනිමින් ගෝල 4-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් සිය තෙවැනි ලෝක කුසලානයට හිමිකම් කීවේ ‘ජූල්ස් රිමෙට් කුසලානය’ හැමදාටම තමන් සතුව තබා ගැනීමේ අයිතිය ද හිමිකම් කරගනිමිනි.

එම අවසන් තරගයේ දී බ්‍රසීල නායක කාලෝස් ඇල්බර්ටෝ වාර්තා කර ගත් ඔවුන්ගේ සිව්වැනි ගෝලය බොහෝ දෙනාගේ කතා බහට ලක්වන්නට විය. එම ගෝලයට ක්‍රීඩකයින් 7 දෙනෙකුගේ සහභාගීත්වය ඉවහල් වූ අතර අවසානයේ පන්දුව ලබාගත් ඇල්බර්ටෝ පළමු වරම පන්දුවට වේගවත් පහරක් එල්ල කරmin එම ගෝලය වාර්තා කර ගනු ලැබීය. එහි දී එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන පේලේ සිය පාපන්දු දිවියේ තෙවැනි ලෝක කුසලානයට හිමිකම් කියූ අතර ඔවුන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ මාරියෝ සගාලෝ ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්විය.

(Image courtesy – www.worldcupbrazil.net)

ලෝක කුසලානයක් සඳහා ඉදිරිපත් වූ විශිෂ්ටතම කණ්ඩායම ලෙස සැලකෙන මෙම බ්‍රසීල කණ්ඩායම මෙම තරගාවලියේ දී ඔවුන් සහභාගී වූ තරග 6ම ජයග්‍රහණය කරනු ලැබූ අතර තවදුරටත් ඊට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පැවති තරග සියල්ලම ද ජය ගන්නට සමත් විය. තරගාවලිය තුළ ගෝල 10ක් වාර්තා කර ගනු ලැබූ ජර්ඩ් මුලර් රන් සපත්තුවට හිමිකම් කියූ අතර තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය පේලේ හට හිමි විය. ඉන් අනතුරුව එළඹෙන 1974 ලෝක කුසලාන තරගාවලියේ දී පිරිනැමෙන්නේ නවතම කුසලානයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<