මුණවීරගෙන් තුන් ඉරියව් දක්ෂතා

29 වැනි සිංගර් - වෙළෙඳ සේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

2469

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ වෙළඳසේවා ක්‍රිකට් සංගමය (MCA) එක්ව සංවිධානය කරනු ලබන ‘29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති තරග අතරින් තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට HNB – A කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර සමත් වුනා.

පැවති තරග අතරින් HAYLEYS Group – A සහ HNB – A අතර තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට HNB – A ක්‍රීඩකයන් සමත් වන විට SAMPATH BANK – A සහ MODE ENGINEERING අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 2ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට MODE ENGINEERING කණ්ඩායම සමත් වුනා.

HAYLEYS Group – A සහ HNB – A

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවාර 26කට සීමා කරමින් පැවැත්වීමට තීරණය කෙරුණා. ඒ අනුව ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් HNB – A නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි HAYLEYS Group – A ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී රැස් කරගැනීමට සමත් වුනේ ලකුණු 143ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් වුනා. ඊට අමතරව මොහොමඩ් ශමාස් පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් වාර්තා කළ අතර අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ඩිල්ශාන් මුණවීර පන්දුවාර 5.4ක් පමණක් යවමින් ලකුණු 29කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඊට අමතරව උස්මාන් ඉෂක් කඩුලු 2ක් දවා ගත් අතර විමුක්ති පෙරේරා, ගයාන් සිරිසෝම සහ ඩෙලෝන් පීරිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි HNB – A කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළේ තවත් පන්දු 19ක් ඉතිරිව තිබිය දී. එහි දී අගනා අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඩිල්ශාන් මුණවීර සමත් වුනා. ඔහුගේ ඉනිම පන්දු 48කින් සමන්විත ලකුණු 77ක් වූ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා.

HAYLEYS Group – A – සියලු දෙනා දැවී 143 (24.4): රොන් චන්ද්‍රගුප්ත 52, මොහොමඩ් ශමාස් 25, උස්මාන් ඉෂක් 2/23, ඩිල්ශාන් මුණවීර 5/29.

HNB – A – කඩුලු 3ක් දැවී 146 (22.5): දේශාන් ඩයස් නොදැවී 29, ඩිල්ශාන් මුණවීර 77, මාධව වර්ණපුර 25, දිල්රුවන් පෙරේරා 2/17.

SAMPATH BANK – A සහ MODE ENGINEERING

කොළඹ SSC පිටියේ දී පැවති මෙම තරගය ද අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවාර 28කට සීමා කරමින් පැවැත්වුනා.

කාසියේ වාසිය දිනා ගත් MODE ENGINEERING නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි SAMPATH BANK – A කඩුලු 9ක් දැවී ලකුණු 184ක් වාර්තා කරගත්තා.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි  MODE ENGINEERING ඉනිම පන්දුවාර 26ක් අවසානයේ කඩුලු 6කට ලකුණු 170ක් රැස් කරගෙන සිටිය දී තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කිරීමට සිදු වූවා. එම අවස්ථාවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 168ක් පමණයි. ඒ අනුව ඔවුන්ට ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් හිමි වූවා.

තරගයේ වැඩිම ලකුණුලාභියා වූයේ MODE ENGINEERING කණ්ඩායමේ ඩිලාන් ජයලත්. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් රැස් කරගත්තා.

ඔහුට අමතරව SAMPATH BANK – A කණ්ඩායමේ හසන්ත ප්‍රනාන්දු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් සහ සහන් ආරච්චිගේ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ද රැස් කරගැනීමට සමත් වුනා.

තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ  SAMPATH BANK – A නායක ඉසුරු උදාන. ඔහු ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.

SAMPATH BANK – A – කඩුලු 9ක් දැවී 184 (28): හසන්ත ප්‍රනාන්දු 47, සහන් ආරච්චිගේ 45, ශිරාන් ප්‍රනාන්දු 28, ඉසුරු උදාන 3/29, මිලාන් ප්‍රියන්ත 2/29, අයන සිරිවර්ධන 2/20.

MODE ENGINEERING – කඩුලු 6ක් දැවී 170 (26): ඩිලාන් ජයලත් 55, දුශාන් හේමන්ත නොදැවී 36, ඉසුරු උදාන නොදැවී 25, සසිඳු නානායක්කාර 20, සම්මු අශාන් 20, ශිරාන් ප්‍රනාන්දු 2/20.

මේ තරගාවලියේ මූලික වටයේ තරගයක් වන JOHN KEELLS GROUP – A සහ CDB FINANCE – A අතර තරගය හෙට (06) කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<