ඩෙඟා නටපු Shakib සමාව අයැදී

145

ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී විනය විරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ Mohammedan ක්‍රීඩා සමාජයේ නායක Shakib Al Hasan සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනයක් නිකුත් කරමින් සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ තරගාවලිය යටතේ Mohammedan ක්‍රීඩා සමාජය සහ Abahani Limited අතර ඩකා හි Sher-e-Bangla පිටියේ දී ඊයේ (11) පැවති තරගයේ දී මෙම විනය විරෝධී හැසිරීම සිදුව තිබුණා.

එහි දී Shakib Al Hasan පන්දු යවමින් සිටින අතරතුර දී Mushfiqur Rahim කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම වෙනුවෙන් ඔහු විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළා. 

කෙසේ වෙතත්, Mushfiqur Rahim නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරු නම් කිරීමත් සමඟ දැඩි කෝපයට පත් Shakib Al Hasan පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට පා පහරක් එල්ල කර එය බිඳ දැමුවේ ඉතාමත් දැඩි ආවේගයෙන් යුක්තවයි.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Mohammedan ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Abahani Limited කණ්ඩායම පන්දුවාර 5.5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

අනතුරුව විනිසුරුවන් විසින් තරගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීමත් සමඟ කෝපයට පත් වූ Shakib, පන්දු යැවීමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව පිටියේ විනිසුරු සමඟ ද උණුසුම් වචන හුවමාරුවක නිරත වුන බව වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරනවා.

එම සිදුවීමේ දර්ශන පහතින් නරඹන්න

 “මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙක් සහ අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩකයෙක් එසේ ප්‍රතිචාර දැක්වීම නොකළ යුතුව තිබුණා” යනුවෙන් Shakib Al Hasan තරගයෙන් පසුව සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල සටහන් තබමින් පවසා සිටියා.

“ඒ අවස්ථාවේ මගේ දැඩි ක්ෂණික කෝපය නිසාවෙන් සිදු වුන වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්වලින්, කළමනාකාරිත්වයෙන්, තරගාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම සමාව අයදිනවා. අනාගතයේ දී මෙවැනි විනය විරෝධී හැසිරීම් සිදු නොකිරීමට මම බලාපොරොත්තු වෙනවා.”

අවසානයේ දී ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව Shakib Al Hasan ඇතුළු Mohammedan ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කරගත්තා. මෑතක දී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ක්‍රිකට් තහනමකට ද යටත්ව සිටි Shakib මෙම තරගයේ දී ලකුණු 37ක් රැස් කළා.

Shakibගේ ක්ෂණික කෝපය නිසාවෙන් 2018 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයක් අතරතුර එහි ක්‍රීඩාගාරයට ද ඔහු විසින් අලාබහානි සිදු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<