නාවික හමුදාව හා පාසල් කණ්ඩායම

සිව්වන දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ නාවික හමුදාව හා පාසල් කණ්ඩායම අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමූ අතර එම තරගය තරගාවලියේ පස්වන දිනයේ දී පැවැත්වීමට කටයුතු කරන ලදී.

මූලික වටයේ අවසන් තරගයක් වූ  මෙය ද ආරම්භ වීමට ප්‍රථම වැසි ඇදහැලෙන්නට වීම තරගය ආරම්භ වීම පමාකරන්නට හේතු විය.

කෙසේ වෙතත් තරගය ආරම්භ කිරීමට තරග විනිසුරුන් සමත් වූ අතර ක්‍රීඩා පිටියේ ලිස්සන සුළු ස්වභාවය හේතුවෙන් පාසල් කණ්ඩායමට තම වේගවත් ක්‍රීඩා රටාව දියත් කිරීමට නොහැකි වීම මෙහි දී දක්නට ලැබුණි. එසේම මෙම අවදානම් තත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකම තම තරග රටාව වෙනස් කරමින් තරග කරනු දක්නට ලැබුණි.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team.

කෙසේ වෙතත් තරගයේ ස්වභාවය මැනෙවින් හඳුනා ගත් නාවික හමුදා කණ්ඩායම තරගය ජය ගැනීමට සමත් වූයේ 17-12ක්, 15-11ක්, 16-11ක් හා 19-10ක් ලෙස සමස්ත ලකුණු ප්‍රමාණය 67-44ක් ලබා ගනිමිනි.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ලහිරු පෙරේරා, නිපුන ලක්රුවන් හා බුද්ධි යසස් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් බවට පත් විය. පාසල් කණ්ඩායම වෙනුවෙන් අර්නෝල්ඩ් බ්‍රෙන්ට් ලකුණු 11ක් ද, නිමේෂ් ප්‍රනාන්දු ලකුණු 9ක් ද රැස් කර ගැනීමට සමත් විය.

ජයග්‍රාහී නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩක ලහිරු පෙරේරා තරගයෙන් අනතුරුව අප වෙත මෙසේ අදහස් දැක්විය.

“තරගයේ ඉදිරි වටයට අපට යාමට නොහැකි වුවත් මෙම තරගය ජය ගැනීමට හැකි වීම ගැන සතුටට පත් වෙනවා. මෙම ජයග්‍රහණයට කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ දායකත්වය හිමි වුනා. ඉදිරි තරගාවලීන් වල දී ඉහල දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

එසේම පාසල් කණ්ඩායමේ ක්‍රිඩක නිපුන ඒකනායක ප්‍රකාශ කර සිටියේ,

“ක්‍රීඩා පිටියේ ලිස්සන සුළු ස්වභාවය නිසා ක්‍රීඩා කිරීමට අපහසු වුනා, මේ හේතුවෙන් අප කණ්ඩායමේ පුහුණුකරු තරග කරන කාලය අඩු කරන්නට කටයුතු කල ආකාරය ගැන සතුටු වෙනවා. එසේ නොවන්නට ක්‍රීඩකයෙකු අනතුරකට හෝ ආබාධයකට ලක්වන්නට ඉඩ තිබුණා. තව තරගයක් අපට තියෙනවා. එය ජය ගැනීම අප කණ්ඩායමේ ප්‍රධානතම අරමුණයි.”


කොළඹ දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම හා වෙළඳසේවා කාන්තා කණ්ඩායම

තරගය කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට එතරම් සුබදායක නොවුණු අතර එයට හේතුව වූයේ ක්‍රීඩා කිරීමට හැකි තත්වයේ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු පමණක් කණ්ඩායම සතු වීමයි. ඊට අමතරව පසුගිය තරග වලදී දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල එම කණ්ඩායමේ B. තලගල ක්‍රීඩිකාව ආබාධයකට ලක්වීම කොළඹ කණ්ඩයමේ ඉදිරි ගමනට බලපෑම් කරනු ඇත.

Photo Album: 51st Senior Nationals 2017 | Level I | Day Five

තරගයේ පළමු කාර්තුව තරගකාරී මුහුණුවරක් ගත් අතර වෙළඳසේවා කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ ලකුණු 10-06ක් ලෙසිනි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වන කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ ඉමේෂා තත්සරණි නැවතත් තම කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරනු දක්නට ලැබුණි.

එහෙත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 23-15ක් ලෙස වෙළඳසේවා කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ වෙළඳසේවා ක්‍රීඩිකාවන් තම ලකුණු රැස් කිරීම තවදුරටත් දියත් කල අතර කාර්තුව අවසන් වන විට ලකුණු 37-19ක් ලෙස ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් විය. තරගයේ අවසන් කාර්තුවට පැමිණෙද්දී වෙළඳසේවා කණ්ඩායම දියත් කල ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවට එරෙහිව කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන්ට සටන් කිරීමට නොහැකි වීම නිසා තරගයේ ජය වෙළඳසේවා කණ්ඩායමට හිමි විය. තරගයේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ලකුණු 16ක් ලබා ගත් අන්ජලී ඒකනායක යි. (වෙළඳ සේවා කණ්ඩායම)

තරගයේ අවසන් ලකුණු සටහන 47-30ක් ලෙස දැක්විය.


කොළඹ දිස්ත්‍රික් පිරිමි කණ්ඩායම හා වෙළඳසේවා පිරිමි කණ්ඩායම

මූලික වටයේ උණුසුම් තරගයක් වූ මෙහි තරගය ආරම්භයේ සිට දියත් කල ක්‍රීඩා රටාව හේතුවෙන් තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට වෙළඳසේවා පිල සමත් වූ අතර දෙවනුව කොළඹ ක්‍රීඩකයින් තරගයේ දියත් කල ක්‍රීඩා රටාව හේතුවෙන් එම කාර්තුවේ ලකුණු 11ක් රැස් කරගැනීමට සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 27-21ක් ලෙස වෙළඳසේවා කණ්ඩායම ඉදිරියෙන් තබමිනි. කෙසේ වෙතත් අවසන් කාර්තුවේ දී ගියවර ශූරයින්ට පීඩනයක් එක් කිරීමට කොළඹ ක්‍රීඩකයින් සමත් වුවත්, වෙළඳසේවා පිල දියත් කල ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව තරගයේ ජය ඔවුන්ට හිමි කර දීමට සමත් විය.

වෙළඳසේවා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන රජිත හෙට්ටිආරච්චි සහ ගයාන් ඩි කෘස් පිළිවෙලින් තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 15ක් හා 8ක් ලබා ගත් අතර ප්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය අඩාල කිරීමට සමත් වීම තරගයේ ජයග්‍රහණයට සෘජුවම බලපාන ලදි. ක්ලින්ටන් ස්ටලෝන් හා තිමති නිතුෂන්ගේ ක්‍රීඩා විලාශය මෙහි දී ඉස්මතු වූ අතර කණ්ඩායම වෙනුවෙන් පිළිවෙළින් ඔවුන් ලකුණු 12ක් හා 8ක් රැස් කර ගන්නා ලදි.

තුෂාන් ධර්මසේන තම ඉපිලිමේ හැකියාව ප්‍රදර්ශනය කලේ තමන් ගියවර MSBA Dunk ශූරයා බව ක්‍රීඩාලෝලීන්ට පසක් කර දෙමිනි. කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සමරසිංහ ලකුණු 15ක් හා සුදේශ් අහමඩ් ලකුණු 10ක් රැස් කරගන්නා ලදි.

තරගයෙහි අවසන් ලකුණු සටහන ලකුණු 58-52ක් ලෙස දැක්විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට