ශිරාන් ප්‍රනාන්දු නිරෝධායනයට; තරගාවලියේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

128

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබීම අද (23) උදෑසන මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබුණා.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු මෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු වන චමින්ද වාස් මහතා හට වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වුනා. මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනේ පසුගිය මැයි 21 වැනිදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි.

කෙසේ වෙතත් මැයි 22 වැනිදා සිදු කළ PCR පරීක්ෂණවලට අනුව චමින්ද වාස් මහතාට සහ ඉසුරු උදාන හට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුනා. නමුත් නවක වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු හට වයිරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වනවා.

ශිරාන් ප්‍රනාන්දු තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර නොමැති අතර ඔහුට මෙම මස මුල දී ද වයිරසය ආසාධනය වී තිබුණා.

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා කොරෝනා එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් තරගාවලිය සඳහා පිටත් වීමට පෙර මෙරට දී අවම වශයෙන් කොරෝනා එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 16 වැනිදා බංග්ලාදේශය වෙත ළඟා වූ අතර ඉන් අනතුරුව දින 3ක නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පසුගිය වසරේ දී පැතිර ගිය කොරෝනා වයිරසයෙන් අනතුරුව ජාත්‍යන්තර තරගාවලි හතරකට සහභාගී වූ අතර එම සංචාරයක් අතරතුර ක්‍රීඩකයන් හට වයිරසය ආසාදනය වූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර එය ක්‍රිකට් ලෝක කුසලානයේ තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග ඩකා හි Shere Bangla ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලි කාලසටහන 

  • පළමු එක්දින තරගය – මැයි මස 23 
  • දෙවැනි එක්දින තරගය – මැයි මස 25 
  • තෙවැනි එක්දින තරගය – මැයි මස 28 

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ සියළු තොරතුරු එසැණින් දැනගන්න ThePapare.com සමඟින් රැඳීසිටින්න.

*ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සෙසු PCR පරීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව මෙම ප්‍රවෘත්තිය යාවත්කාලීන කරන ලදී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<