ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක්

2048
pic credit - sportsmirchi.com

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පසුගිය වසර කිහිපය පුරාවටම නිවැරදි තීන්දු තීරණ ගත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පසුගිය දා තවත් එක් නිවැරදි තීන්දුවක් ගෙන තිබේ. එනම් 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම් ක්‍රියාවලිය නව මාවතකට ගෙන ඒමයි.

බංගලියෝ දෙවැනි තරගයේ දි ම සිම්බාබ්වේට පහර දෙයි

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර…

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ නව ක්‍රියාවලිය තරගාවලි 6කින් සමන්විතයි. ඉන් ICC Cricket world cup super league සහ ICC Cricket world cup qualifier යන තරගාවලි දෙකෙන් 2023 ලෝක කුසලානයට කණ්ඩායම් 10ක් තෝරාගන්නා අතර අනෙක් තරගාවලි 4න් සිදුවන්නේ, ඉහත සඳහන් කර තිබෙන ICC Cricket world cup qualifier තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමයි.

ICC Cricket world cup super league

ICC හී පූර්ණ සාමාජිකත්වය ලබාගෙන සිටින රටවල් 12 සහ නෙදර්ලන්තය මෙම තරගාවලියට ක්‍රීඩා කරයි. ICC හී පූර්ණ සාමාජිකත්වය ලබාගෙන සිටින රටවල් වන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බංගලාදේශය, අයර්ලන්තය, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ දේශයයි.

මෙම තරගාවලියට සම්පූර්ණ තරග 156ක් ඇති අතර එක් කණ්ඩායමක් තරග 24ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 2020 ජූලි මාසයේ දී ආරම්භ වන මෙම තරගාවලිය 2022 වසර තෙක් පැවැත්වෙයි.

මෙම තරගාවලියේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 7 සහ 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දියාව, 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර අනෙක් කණ්ඩායම් පහට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අනෙක් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වන ICC Cricket world cup qualifier තරගාවලියේ දී දක්ෂතා දැක්විය යුතුයි.

සිංහ පැටවු අවදි වී මහත්වරුන්ට හොඳ හැටි සංග්‍රහ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ …..

ICC Cricket world cup league 2

මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබන්නේ ICC කණ්ඩායම් වර්ගීකරණයේ 14-20 වැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් වේ. ඉන් ස්කොට්ලන්තය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් යන කණ්ඩායම් නිසැක වශයෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩා කරන අතර එම කණ්ඩායම් හැර තවත් කණ්ඩායම් 4ක් මෙම League 2 තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.

2019 ජූලි සිට 2021 වසර දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය තරග 126කින් සමන්විතයි. එක් කණ්ඩායමකට තරග 36ක් ක්‍රීඩා කිරීමට ඉඩ ලැබීමත් ඉතා සුවිශේෂී කරුණක් ලෙසින් දැක්විය හැකියි.

මෙම ICC Cricket world cup league 2 තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් තුන ICC Cricket world cup qualifier තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා අතර අනෙක් කණ්ඩායම් හතර ICC Cricket world cup qualifier play-off හී ක්‍රීඩා කොට ඉන්පසු නැවතත් ICC Cricket world cup qualifier සඳහා සුදුසුකම් ලබාගත යුතුයි.

ICC Cricket world cup challenge league A සහ league B

නව සැලසුම අනුව වර්ගීකරණයේ 21-32 ස්ථාන හිමිකරගෙන සිටින රටවලටත් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවී තිබේ. මෙම තරගාවලි දෙක 2019 අගෝස්තු මාසයේ සිට 2021 දක්වා පැවැත්වේ.

ඒ අනුව league A සහ B තරග 90 බැගින් සමන්විත අතර එක් කණ්ඩායමකට තරග 15 බැගින් හිමි වේ. එම තරග අවසානයේ දී league A සහ league Bහි ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම් දෙක ICC Cricket world cup qualifier play-off සඳහා සුදුසුකම් ලබයි.

ICC Cricket world cup qualifier play-off

ඉහත සඳහන් කළ පරිදි ICC Cricket world cup qualifier play-off හී තරග කරන්නේ  ICC Cricket world cup league 2 හී අවසාන ස්ථාන ලබා ගත් කණ්ඩායම් හතර සහ ICC Cricket world cup challenge league A සහ league B හී ශූරතාවය හිමිකරගත් කණ්ඩායම් දෙකයි. එම කණ්ඩායම් 6 අතරින් වැඩිම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක ICC Cricket world cup qualifier සඳහා සුදුසුකම් හිමිකරගනී.

ICC Cricket world cup qualifier

2022 වසරේ පැවැත්වෙන ICC Cricket world cup qualifier තරගාවලිය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන අවසාන තරගාවලියයි.

ප්‍රථමයෙන්ම කණ්ඩායම් 13ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ICC Cricket world cup super league හී අවසාන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 5, ICC Cricket world cup league 2 හී මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 3 සහ ICC Cricket world cup qualifier play-off හී වැඩිම දක්ෂතා දක්වන කණ්ඩායම් 2 මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබයි.

ඒ අනුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් ICC Cricket world cup qualifier පැවැත්වේ. ඉන් හොඳින්ම දක්ෂතා දක්වන කණ්ඩායම් 2, 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනී.

මෙම අලුත් තරගාවලි සැකසුම පිළිබඳ අදහස් දැක්වූ ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා.

“පසුගිය කාලය පුරාවටම අපගේ සාමාජිකයන්ගේ අදහස වුනේ සියලුම කණ්ඩායම්වලට වැඩි වශයෙන් තරග කිරීමේ අවස්ථා අවශ්‍ය බවයි. මෙම අලුත් තරගාවලි සැකසුම නිසා තරග ප්‍රමාණය සහ තරගකාරීත්වය බොහෝ සෙයින් වැඩි වෙනවා. ඒ වගේම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා ඉතා පැහැදිලි මාර්ගයක් සියලුම කණ්ඩායම්වලට හිමි වෙලා තියෙනවා.”

ඉතාම යහපත් තීරණයක්

මෙම නව ක්‍රියාවලිය ඉතාමත් යහපත් ක්‍රියාවලියක් බව බැලූ බැල්මටම පෙනී යයි. මෙතෙක් කල් වර්ගීකරණයේ පසුපසින් සිටි කණ්ඩායම්වලට පැහැදිලි අවස්ථා හිමි නොවූවත් දැන් එම කණ්ඩායම්වලට අවස්ථා සේම ඉතාමත් තරගකාරී යමක් වෙනුවෙන් තරග කිරීමට ද අවස්ථාවක් හිමි වේ.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට පයින් ගැසූ ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ….

එයට අමතරව ICC හී පූර්ණ සාමාජිකත්වය ලබාගෙන සිටින රටවල් අතර ද ඉතාම තියුණු, තරගකාරී මට්ටමේ තරග දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්කල මෙය ඉතාම යහපත් තීරණයක් යයි පැවසීම උචිත වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<