ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයන් එළ‍ඹෙන හෙට (17) පෙරවරු 11ට චීන තායිපේ කණ්ඩායමට එරෙහිව, ආසියානු යොවුන් රග්බි තරගාවලියේ සිය අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

යොවුන් රග්බි ක්‍රීඩකයන් පිරිසක් මැලේසියාවේදී රෝහල් ගත කෙරේ

ආසියානු ශූරතා කනිෂ්ට රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා මැලේසියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වනවිට එරට රෝහලකට ඇතුලත්.

ශ්‍රී ලංකාව, මැලේසියාවට එරෙහි තරගය අතිරේක මිනිත්තු කිහිපයේදී 27- 21ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර  පසුව පැවැති තරගයේදී වත්මන් ශූරයින් වන හොංකොං කණ්ඩායම ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත් කර දෙමින් 61- 00 ක් ලෙස ජය ගනු ලැබීය.

ශ්‍රී ලංකාව සිය අවසන් තරගය පරාජය වන්නේ නම් ආසියානු යොවුන් රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයෙන් ඉවත් වීමට ඔවුන්ට සිදුවනු ඇත.

පෙර පැවැති තරග ප්‍රතිඵල

  • හොංකොං 54- 08 චීන තායිපේ
  • ශ්‍රී ලංකාව 27 – 21 මැලේසියාව
  • ශ්‍රී ලංකාව 00 – 61 හොංකොං
  • මැලේසියාව 38 – 31 චීන තායිපේ

පැවැත්වීමට නියමිත තරග

  • ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර තරගය
  • මැලේසියාව සහ හොංකොං අතර තරගය

ප්‍රසාද ලකුණු 2කුත් සමඟින් ශ්‍රී ලංකාව පරාජය කළ හොංකොං කණ්ඩායම, ලකුණු 10ක් ලබා ගෙන ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර චීන තායිපේ කණ්ඩායමට ‍එරෙහිව ප්‍රසාද ලකුණක් සමඟින් ජය ලබා, පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට  එරෙහිව පරාජය ලැබූ මැලේසියානු කණ්ඩායම ලකුණු 6ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසුවෙයි.

තම ප්‍රථම තරගයේදී උත්සහක දිනුම් 4ක් සමඟින් ප්‍රසාද ලකුණක් ද ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලු ලකුණු 5ක් ලබා ගෙන තෙවන ස්ථානයේ පසුවෙයි. ලකුණු 2ක් පමණක් ලබා සිටින චීන තායිපේ කණ්ඩායම අවසාන ස්ථානයේ පසුවන නමුත් මැලේසියාවට ‍එරෙහි තරගයේ 70 වන මිනිත්තුව දක්වාම පෙරමුණ ගෙන සිටියේ ඔවුන්ය. එනමුත් මැලේසියාව අවසන් මොහොතේ ලබාගත් උත්සාහක දිනුම් 2 සමඟින් තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ප්‍රථම තරගයේදී මැලේසියානු ඉදිරිපෙළ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කළ නමුත්, චීන තායිපේට එරෙහි තරගයේදී මැලේසියානු ඉදිරි පෙළ සම්පූර්ණයෙන්ම පරාජය වීමට ලක්විය. හොංකොං කණ්ඩායම, ශූරතාවය ආසන්නයෙන්ම සිටින කණ්ඩායම වුවත්, ඔවුන්ගේ මීළඟ තරගය වඩා තරගකාරී වනු ඇත.

ප්‍රථම කාණ්ඩයෙන් පහලට නොවැටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ තරගය ජයග්‍රහනය  කිරීම හෝ සම කර ගැනීම සිදුකළ යුතුම වේ. අවසන් වසරේ දී චීන තායිපේ කණ්ඩායම හමුවේ පරාජය වූ දකුණු කොරියානු කණ්ඩායම‍ට ඒ කණගාටුදායක අත්දැකීමට මුහුණදීමට සිදුවිය.

ක්‍රීඩකයන් තිදෙනෙක් රෝහල්ගතව සිටින බැවින්ද, තවත් දෙදෙනෙකුට උණ රෝගය වැලඳී ඇති බැවින්ද කණ්ඩායමටත් පුහුණු කාර්යමණ්ඩලයටත් මීළඟ තරගය දැඩි අභියෝගයක් බවට පත්ව ඇත.

ආසියානු යොවුන් රග්බි ශූරතාවලිය ThePapare.com වෙබ් අඩවිය හරහා, ඩයලොග් TV නාලිකා අංක 1 හරහා සහ MY TV ජංගම යෙදවුම (App) හරහා සජීවව නැරඹීමේ අවස්ථාව සෙනසුරාදා පෙරවරු 10.50 සිට  ශ්‍රී ලංකා ‍‍‍නරඹන්නට හිමිවේ.

මැලේසියාව සහ හොංකෙං අතර පැවැත්වෙන, තරගාවලියේ අවසන් තරගය  පස්වරු 12.50 සිට විකාශනය වේ.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට