පානදුර කණ්ඩායම පෙරමුණේ

368
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම අද (15) ආරම්භ විය. එහි පළමු දිනය තුලම වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5ක් දවාගනිමින් සුපිරි දස්කම් දැක්වීමට චානක කොමසාරු සමත් විය.

පසුගිය ලිපි: සංගීත්ගේ දැවැන්ත ඉනිම නිසා සැරසන්ස් ජය මාවතට

ලංකන් ක්‍රිකට් සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

පානදුර දී අද (15) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට ලංකන් ක්‍රිකට් සමාජය වෙත ඇරයුම් කරන ලදි.

චානක රුවන්සිරි 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 40ක් ලබාගනිමින් ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම වෙනුවෙන් සවියක් ලබාදුන් අතර, චරිත් ප්‍රනාන්දු චානක සමඟින් එක්ව 4 පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබාගෙන හොඳ සහයෝගයක් ලබාදෙන ලදි. අවසානයේ දි තම පළමු ඉණිම ලකුණු 163කට සීමාකර ගැනීමට ඔවුන්ට සිදුවිය. පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් ලසිත් ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගන්නා ලදි.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම දියත් කල පානදුර ක්‍රීඩා සමාජය දිනය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 244ක් ලබාගත් අතර, මිශේන් සිල්වා 4 පහර 13ක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟින් ලකුණු 105ක් ලබාගෙන විශිෂ්ට ඉණිමක් දියත් කරන ලදි. මොහොමඩ් සිල්මි මිශේන් හට අගනා සහයක් ලබාදෙමින් තම නාමය ඉදිරියෙන් ලකුණු 75ක් සටහන් කරගන්නා ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 163/10(34.1): චානක රුවන්සිරි 40, චරිත් ප්‍රනාන්දු 35, නවීන් කවිකාර 20, ලසිත් ප්‍රනාන්දු 4/29 නිමේෂ් විමුක්ති 3/48,

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 244/07 (52.5): මිශේන් සිල්වා 105, මොහොමඩ් සිල්මි 75

පානදුර ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 81ක් ඉදිරියෙන් පසුවෙයි.


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

වැලිසර නාවික හමුදා පිටියේදී පිටියේ වාසිය ද ඇතිව නාවික හමුදා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කල අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

නායකත්වයේ ඉණිමක නිරත වෙමින් නාවික හමුදා කණ්ඩායමේ මැදපෙළ සවිමත් කල සමීර සඳමාල් 4 පහර 7ක් සමඟින් අගනා ලකුණු 59ක් ලබාගෙන එක් අන්තයක සවිය ලබාදෙද්දී, 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් අනෙක් අන්තය සවිමත් කල බුද්ධික අසලංග ලකුණු 51ක් රැස් කරන ලදි. ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් සහන් ජයවර්ධන ලකුණු 61කට කඩුලු 4ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි. දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 268ක් ලබාගෙන ඔවුන් ස්ථාවර මට්ටමක පසුවෙයි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 268/08 (88.4): සමීර සඳමාල් 59, බුද්ධික අසලංග 51, අශාන් රණසිංහ 47, ධනුෂ්ක මාලන් 38, අමිත් එරන්ද 34, සහන් ජයවර්ධන 4/61


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ මෙම තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කල වරාය අධිකාරි කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජය වෙත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදෙන ලදි.

පොලිස් ක්‍රීඩා සමාජය තම පළමු තරඟ දෙකම පරාජයට පත්වූ අතර, තරගාවලියේ තව දුරටත් රැදී සිටීමේ අරමුණ ඇතිව ඔවුන් පළමුව පිටියට පැමිණෙන ලදි. පසුගිය තරඟ දෙකට වඩා හාත්පසින්ම වෙනස් පිතිකරණ විලාසයක් පෙන්නුම් කල පොලිස් කණ්ඩායම දිවා ආහාරය වන විට කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබාගෙන සිටින ලදි. නමුත් සවස් කාලය තුල විශිෂ්ට ලෙස  ක්‍රියාත්මක වූ චානක කොමසාරු කඩුලු 5ක් දවාගනිමින් පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිම පෙර තරඟ දෙකේ ලෙසම අසාර්ථක කරවන ලදි. සමිත් දුශ්මන්ත ලකුණු 26ක් ලබාගෙන තරමක් දුරට හෝ පොලිස් ඉණිම ඔසවා තබන ලදි.

අනතුරුව තම පිළිතුරු ඉණිම දියත් කල වරාය අධිකාරි කණ්ඩායම තම පළමු ඉණිම වෙනුවෙන් දිනය අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 117ක ලබාගත් අතර හෙශාන් ගුණතිලක අලංකාරවත් 4 පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 78*ක් ලබාගෙන සිටි අතර ඔහු සමඟින් එක්ව පළමු කඩුල්ලේ සබදතාවය ආරක්ෂා කල යොහාන් ද සිල්වා නොදැවී ලකුණු 29*ක් ලබාගෙන පළමු දිනය අවසානයේ දී කඩුල්ලේ රැදී සිටියි.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 103/10 (50): සමිත් දුශ්ශන්ත 26, චානක කොමසාරු 5/35, චාමිකර එදිරිසිංහ 4/29

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 117/0 (39): හේශාන් ගුණතිලක 78*, යොහාන් ද සිල්වා 29*

වරාය අධිකාරි කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 14ක් පෙරමුණේ පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට