පැපුවා නිව් ගිනියාව ඉවතට යද්දී ස්කොට්ලන්තය සුපිරි 12ට ළඟා වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

475

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (19) පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය අතර ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එම තරගයෙන් ලකුණු 17ක ජයක් ලබා ගත් ස්කොට්ලන්තය අපරාජිතව B කාණ්ඩයේ පෙරමුණ දිනා ගෙන සිටිනවා. මේ උරුම වුනු පරාජයත් සමඟම පැපුවා නිව් ගිනියාවට ලෝක කුසලානයේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඇහිරී ගියා.

කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත නායක Kyle Coetzer පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ස්කොට්ලන්තය – Kyle Coetzer (capt), George Munsey, Mathew Cross (wk), Richie Berrington, Callum MacLeod, Mathew Leask, Chris Greaves, Mark Watt, Joshua Davey, Alasdair Evans, Brad Wheal

පැපුවා නිව් ගිනියාව – Tony Ura, Lega Siaka, Assad Vala (capt), Charles Amini, Sese Bau, Norman Vanua, Simon Atai, Kiplin Doriga (wk), Chad Soper, Kabua Morea, Nosaina Pokana

ස්කොට්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයක අර්ධ ශතකයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඔවුන්ගේ මැදපෙළ පිතිකරු Richie Berrington සමත් වුනා.

ඔහු මේ තරගයේ දී සුපිරි ඉනිමක් දියත් කරමින් පන්දු 49ක දී ලකුණු 70ක් වාර්තා කළ අතර ඔහුගේ මේ ඉනිම සඳහා 4 පහර 6ක් සහ දැවැන්ත 6 පහර 3ක් ඇතුළත් වුනා.

එම ඉනිම සවියක් කරගෙන ස්කොට්ලන්තය නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත් නමුත්, ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 14ක් තුල බිඳ නොවැටෙන්නට ඔවුන්ට ලකුණු 180කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් වෙත යාමට වැඩි අවස්ථාවක් තිබුණා.

පැපුවා නිව් ගිනියා පන්දු යවන්නන් ප්‍රබල ස්කොට්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු වන George Munsey සහ නායක Coetzerගේ කඩුලු ඉතාමත් ඉක්මනින් දවා ගනිමින් තරගයට අවතීර්ණ වුනු නමුත්, තරගයේ මැද භාගයේ දී (පන්දුවාර 5-15) පැපුවා නිව් ගිනියාව දැඩි ප්‍රහාරයකට ලක්වුණා.

Berrington සහ Matthew Cross ඒ සඳහා අවශ්‍ය වුනු මුල්ම අඩිතාලම සකස් කළේ 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 92ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමිනි.

නමුත් පන්දු 36ක දී ලකුණු 45ක් ලබාගෙන සිටි කඩුලු රකින පිතිකරු Crossගේ කඩුල්ල දවාගෙන එම සබඳතාවය අවසන් කිරීමට Simon Atai සමත් වුනු අතර Crossගේ එම ඉනිමට 4 පහර සහ 6 පහර දෙක බැගින් ඇතුළත් වුනා.

ඔවුන් දෙදෙනාගේ සබඳතාවය හැරෙන්නට අනෙක් ස්කොට්ලන්ත පිතිකරුවන් සියලු දෙනාම ඉතාමත් හොඳින් පාලනය කිරීමට වමතින් වේගපන්දු යවන Kabua Morea සහ Chad Soper ඇතුළු පැපුවා නිව් ගිනියා පන්දු යවන්නන් සමත් වුනා.

Morea එහි දී ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කළා.

පිළිතුරු ඉනිම දියත් කළ පැපුවා නිව් ගිනියාව පන්දුවාර විස්ස අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 148ක් පමණයි.

ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ පැපුවා නිව් ගිනියා මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වුනු අතර Norman Vanua සහ Sese Bau ගොඩනැංවූ මැදපෙළ සබඳතාවය නිසාවෙන් ඔවුන්ට මේ ලකුණු මට්ටම දක්වා හෝ පැමිණීමට අවස්ථාව ලැබුණා.

ඊට අමතරව නායක Assad Vala සහ කඩුලු රකින පිතිකරු Kiplin Doriga ලකුණු 18 බැගින් ලබාගෙන ස්කොට්ලන්තයට අභියෝගයක් වීමට වෑයම් කළත් එය සාර්ථක වුනේ නැහැ.

පැපුවා නිව් ගිනියා පසුපෙළ පිතිකරුවන් ප්‍රහාරාත්මක ලෙස පන්දුවට පහර දෙමින් සිටිය දී ක්‍රියාත්මක වුනු දකුණතින් වේගපන්දු යවන Josh Davey පන්දු 21ක් තුල ලකුණු 18කට කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා. පන්දු 37ක දී දිගහැරුණු Vanuaගේ සටන්කාමී ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 2කින් වර්ණවත් වුනා.

ස්කොට්ලන්තය – 165/9 (20): Richie Berrington 70, Matthew Cross 45, Kabua Morea 4/31, Chad Soper 3/24.

පැපුවා නිව් ගිනියාව – 148 (19.3): Norman Vanua 47, Sese Bau 24, Josh Davey 4/18

තරගයේ වීරයා – Richie Berrington (ස්කොට්ලන්තය)

අද පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය බංග්ලාදේශය සහ ඕමානය අතර මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

>> Click here to view full scorecard