මහීෂ්, අවිශ්ක හා භානුක ගමන සුබ කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

536

දකුණතින් පිට දඟපන්දු යවන මහීෂ් තීක්ෂණගේ සේවයට අපමණ අගයක් එක් කළ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ අද (18) අබුඩාබි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමා වූ තරගයේ දී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ගියා.

7 වැනි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ගමනේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිස නැමීබියා ක්‍රීඩකයෝ තම ඉනිම ලකුණු 96කට සීමා කර ගත්තා. ඒ තවත් පන්දු 3ක් ද ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී යමින්. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 100ක් ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 39ක් ඉතිරිව තිබිය දී.

පරාජිත නැමීබියා ඉනිම ආරම්භ කළේ Stephan Baard සහ Zane Green. ඔවුන් දෙදෙනාගේ ඉනිම පන්දු 13කට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. තම පළමු ලෝක කුසලාන තරගාවලියේ පළමු පන්දුවේ දී ම Stephan Baard දවා ගනිමින් තම ක්‍රිකට් ගමන සුබවාදීව ආරම්භ කිරීමට මහීෂ් තීක්ෂණ සමත් වුනා. ඔහුට එම අවස්ථාව ලබා ගැනීමට උදව් කළේ වනිඳු හසරංග.

අනතුරුව පිටියේ රැඳී සිටි Zane Green ද දවා ගැනීමට මහීෂ් සමත් වෙන්නේ නැමීබියා ලකුණු පුවරුව 29 රැඳී තිබිය දී. එවර මහීෂ්ට උදව් කළේ නායක දසුන් ශානක.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එතැන් සිට Craig Williams සහ නායක Gerhard Erasmus නැමීබියා ලකුණු පුවරුව ඉහළ මට්ටමකට ගෙන ඒමට උත්සාහ කළත්, ලකුණු පුවරුව 68ක් වෙද්දී ලහිරු කුමාරගේ පන්දුවකට Gerhard Erasmus එල්ල කළ පහරක් උඩ පන්දුවක් සේ රැක ගනිමින් වනිඳු එම ගමන ද වැළැක්වූවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක්ව ලබාගෙන සිටි ලකුණු 39 නැමීබියා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද වුනා.

Gerhard Erasmus ලකුණු 20ක් ලබා තිබිය දී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර Craig Williams ද ඊළඟ පන්දුවාරයේ දී ලකුණු 29ක් ලබා සිටිය දී වනිඳුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් ඉනිම නිමා කළා.

අනතුරුව පිටියට පිවිසි ක්‍රීඩකයන් අතරින් ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළේ JJ Smit (12*) පමණයි. ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 23ක් තුළ දවා ගැනීමට ඔවුන් සමත් වුනා.

එහි දී තවමත් 21 වැනි වියේ පසුවෙන මහීෂ් තීක්ෂණ තම පන්දුවාර 4 ලකුණු 25කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ලහිරු කුමාර ලකුණු 9කට කඩුලු 2ක් ද වනිඳු හසරංග ලකුණු 34කට කඩුලු 2ක් ද දවා ගත්තා.

චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුල්ල බැගින් බෙදී යද්දී කැපී පෙනෙන පන්දු රැකීමක නිරත වීමට දසුන් ශානක සමත් වුනා.

ලකුණු 97ක හඹා යන ඉලක්කය සපුරා ගැනීමේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා. නමුත් ඔවුන්ගේ සබඳතාව පන්දු 11කට සීමා වූවා. Jonathan Smitගේ දක්ෂ පන්දු උඩ පන්දු රැකීමකින් කුසල්ගේ ඉනිම නිමා වෙද්දී, ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 14ක් ලෙසින්. ඒ වෙද්දී කුසල් රැස් කරගෙන සිටියේ පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් පමණයි.

අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී පැතුම් නිස්සංක ද දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රධාන විනිසුරු නම් කළා. නමුත් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවක් එහි දී පැතුම් ලබා ගත්තා. එහෙත් එහි පුනරූපන ද පැතුම්ගේ දැවී යෑම ස්ථීර කළා. ඔහුගේ ඉනිම පන්දු 6ක දී ලබා ගත් ලකුණු 5කට සීමා වුනා.

අනතුරුව පිටියේ වගකීම් බාර වුනේ දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දු වෙතයි. ඔවුන් දෙදෙනා එක් ව වඩාත් පරිස්සම්කාරීව ශ්‍රී ලංකා ඉනිම ගෙන යෑමට උත්සාහ කළත්, ලකුණු 26ක් වෙද්දී ශ්‍රි ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ද දවා ගැනීමට නැමීබියා පන්දු යවන්නෝ සමත් වුනා.

එවර ගොදුරක් බවට පත් වූයේ චන්දිමාල්. පන්දු 12කට මුහුණ දෙමින් එක්කර ගත් ලකුණු 5ක් පමණයි චන්දිමාල් රැස් කරගෙන සිටියේ.

ගිලිහෙමින් යන ශ්‍රී ලංකා බලාපොරොත්තුවලට ජීවය දුන්නේ අවිශ්ක සහ එතැන් සිට එක් වූ භානුක රාජපක්ෂයි. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 74ක සබඳතාවක් එක් කළා. ඔවුන්ගේ අර්ධ ශතක සබඳතාව වාර්තා වූයේ 37 වැනි පන්දුවේ දී.

තරගය ජයග්‍රහණයෙන් නිමා වන විට අවිශ්ක පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා සිටියා. භානුකගේ ඉනිම පන්දු 27කින් එක් වු නොදැවුණ ලකුණු 42ක්. ඊට හතරේ පහර 4ක් සහ තරගය නිමා කිරීමට එල්ල කළ දැවැන්ත හයේ පහර සමඟින් තවත් හයේ පහරක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට නැමීබියා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙක්ගේ සේවය ලබා ගත්ත ද, ඔවුන් අතුරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ Jonathan Smit පමණයි. ඔහු ලකුණු 7කට කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනා.

මෙම තරගයේ දී දසුන් ශානක සහ Gerhard Erasmus ලෝක කුසලාන තරග ඉතිහාසයට එක් වෙන්නේ තම කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම් ලත් කෝඩුකාරයන් ලෙසින්. මෙම තරගය නැමීබියාවේ මංගල ලෝක කුසලාන තරගය වන අතර ශ්‍රී ලංකාවේ 36 වැනි තරගයයි.

ශ්‍රී ලංකාව සහභාගී වන ඊළඟ තරගය මේ මස 20 වැනිදා සවස 7.30ට අයර්ලන්තය සමඟ පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<