ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයත් වැට උඩට

294

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිටිය වෙතද කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වීම නිසාවෙන් මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇත. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගාවලිය අතරතුර දී කණ්ඩායම් නිලාධාරින් කිහිපදෙනකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාවෙන් තරගාවලිය අතරමැද නවතා දැමීමට සිදුවිය. 

එම හේතුව නිසාවෙන් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය අවලංගු කිරීමට හෝ එම තරගාවලිය ශ්‍රී ලංකාව තුළදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරින් වෙත යෝජනා කර ඇත. නමුත් තම ජෛව ආරක්ෂිත බුබුලේ ආරක්ෂාව තහවුරු කරමින් තරගාවලිය දකුණු අප්‍රිකාව තුළදී පැවැත්වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරින් විසින් සාකච්ඡා කරමින් සිටියි. 

දකුණු අප්‍රිකානු සංචාරයෙන් දින දහයකට පසුව එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට නියමිතව ඇති නිසාවෙන් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් සියල්ලම යහපත් සෞඛ්‍ය තත්වයෙන් නැවතත් මව් රටට රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීම් දැරිය යුතු වේ. 

2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි රැසක් අවලංගු වීම නිසාවෙන් යම් මූල්‍ය ගැටලුවකට ද මුහුණ දී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම එංගලන්ත ටෙස්ට් තරගාවලිය නැවත වරක් කල් දැමීමකින් තොරව පැවැත්වීමට කටයුතු කිරීම වැදගත් වේ. 

එම නිසාවෙන් ක්‍රීඩකයන් කොරෝනා අවදානමින් දුරස් කර තැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම වගකීම වන අතර දකුණු අප්‍රිකානු වෛද්‍ය නිලධාරින් සමඟින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය දමින්ද අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ දකුණු අප්‍රිකානු බලධාරින් විසින් කලින් සැලසුම් කළ පමණට වඩා ආරක්ෂාව වැඩි කිරීමට අවධානය යොමුකර ඇති බවයි. 

“මට වගකීමක් තියෙනවා තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් සියල්ලම නැවත නිරෝගීව මෙරටට ගේන්න. අපි දකුණු අප්‍රිකානු වෛද්‍ය බලධාරින්ට යෝජනා කළා මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අප අනුගමනය කළ නිරෝධායන රෙගුලාසි අනුගමනය කරන්න කියලා.” 

“අපි ඒ ක්‍රමය තුළින් සාර්ථක ප්‍රතිඵලයන් අත්පත් කරගත්තා. තරගාවලිය තුළදී ක්‍රීඩකයන් ආසාදිතයන් බවට හඳුනාගත්තත්, එයින් තරගාවලියට බාධාවක් ඇති වුනේ නැහැ. ඒ වගේම එම නිරෝධායන රෙගුලාසි අප කණ්ඩායමට පමණක් නැතුව එයාලටත් අනුගමනය කරන්න කියලා අපි ඉල්ලීමක් කළා.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිලධාරින් විසින් අද (09) දින එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිලධාරින් සමඟින් සාකච්ඡා කර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරින් විසින් අනුගමනය කළ ජෛව ආරක්ෂිත බුබුලේ හැසිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට නියමිතව ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය නිලධාරින් විසින් තම නිර්දේශයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරින් විසින් මෙම තරගාවලිය තුළට මෙම වසංගතය නොපැමිණීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිලධාරින් සෑහීමකට පත්වුවහොත් පමණක් මෙම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවත්වෙනු ඇත. 

එමෙන්ම මේ පිළිබඳව ඊයේ (08) දින අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේහි වැඩබලන කළමනාකරු වන Kugandrie Govender ප්‍රකාශ කර සිටියේ ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සමඟින් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් සහ ඔවුනට (වෛද්‍ය නිලධාරින් ඇතුළු ක්‍රිකට් ආයතනය සම්බන්ධ පාර්ශවයන්) අවශ්‍ය සියලුම තොරතුරු ලබාදීමට සූදානම් බවයි. 

මෙම වසර තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මාර්තු මසදී එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය අවලංගු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මේ දක්වා අවස්ථාව හිමි වූයේ නැත. 

එම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉඩෝරයට තිත තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරගාවලිය මෙම මස 26 වනදා ආරම්භ වීමට කටයුතු සූදානම් කර තිබූ නමුත් මෙම තත්වය මත තරගාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත් 2020 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තිත තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවනු ඇත. 

Espncricinfo වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියක් ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<