ජාතිවාදී චෝදනා නිසා ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙයි

245
Scotland Cricket board resigns following racism

ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම ආයතනය සිදු කළ වර්ගවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් සිදු කළ ස්වාධීන පරීක්ෂණයකින් පසුවයි. එම වාර්තාව හෙට (ජූලි 25) නිකුත් කිරීමට නියමිත වනවා.

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය “ආයතනික වශයෙන් ජාතිවාදී” බවට ස්කොට්ලන්තයේ ප්‍රමුඛතම කඩුලු දවා ගත් ක්‍රීඩක Majid Haq පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේ දී Sky Sports වෙත අදහස් දක්වමින් චෝදනා කර තිබුණා.

පසුව ඒ සම්බන්ධයෙන් ස්වාධීන සමාලෝචනයක් සිදු කිරීමට තීරණය කර තිබුණා. මෙම සිදුවීම සිදු වුනේ Azeem Rafiq Yorkshire හි ක්‍රීඩා කරන අතරතුර මුහුණ දුන් ජාතිවාදී සිදුවීම් පිළිබඳ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුවයි.

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ඉදිරි දිනවල දී සංවිධානයට සහ ක්‍රීඩාවට සුදුසු පාලනයක්, නායකත්වයක් සහ සහයෝගයක් ඇති බව සහතික කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි sportscotland සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ස්කොට්ලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද උදෑසන එහි අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරි වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර තිබුණා.

“පසුගිය වසරේ ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතිවාදය පිළිබඳ සමාලෝචනය ප්‍රකාශයට පත් කරන විට අපි එම සමාලෝචනයට පූර්ණ සහයෝගය ලබා දුන්නා. සමාලෝචනය අසමසම මට්ටමක් කෙරෙහි ළඟා වුනා කියලා අපි හිතනවා.

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවෙයි එය ස්කොට්ලන්ත ක්‍රීඩාවට සහ පොදුවේ සමස්ත සමාජයටම ආදර්ශයක් සපයනු ඇති බව අපේ විශ්වාසයයි. එය සැබවින්ම පරිවර්තනයකට මඟක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙම සමාලෝචනයේ සොයාගැනීම් ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් මණ්ඩලය මුළුමනින්ම කැප වී සිටිනවා. ස්කොට්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව සියලු දෙනාටම සැබවින්ම පිළිගැනීමේ ස්ථානයක් බවට පත් කිරීමට අපි සහය දෙනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් අපි සැවොම සැබවින්ම කනගාටු වනවා.

ස්කොට්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී ජාතිවාදය හෝ වෙනත් ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමක් අත්විඳි සෑම දෙනාගෙන්ම අපි ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිනවා.”

“මේ වසර ආරම්භයේ සිටම ස්කොට්ලන්තයේ ක්‍රිකට් පාලනය සහ නායකත්වය වැඩිදියුණු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය වැදගත් මූලික පියවර ගෙන තිබෙනවා. මෙය ක්‍රීඩාවේ පාලනය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමේ තවත් දිගු ගමනක ආරම්භය බවට සැකයක් නැහැ. මේ තීරණ එක්ක ඉදිරි වසරවල දී අපිට සාර්ථක වෙන්න පුළුවන් වේවි.”

“අපි ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන් දෙකෙන්, එකක් වර්ගවාදය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු සඳහා පරිපූර්ණ, සාධාරණ සහ කඩිනම් විසඳුමක් ලබා දීමට උපකාරී වෙනවා. අනෙක ක්‍රීඩාවේ පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම අරමුණු කරගෙන තියනවා.

ස්කොට්ලන්තය ක්‍රිකට් ආයතනය වැනි කුඩා සංවිධානයකට තනි තනිව විශාල අභියෝග තියනවා. sportscotland වෙතින් මේ දක්වා අපිට ලැබී ඇති සැලකිය යුතු සහයෝගය අපි පිළිගන්නවා. ඒ වගේම ඉදිරි ගමනේ ඉක්මන් ප්‍රගතිය සහතික කිරීම සඳහා ඔවුන්ගේ හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරන බව අපි දන්නවා.”

කෙසේ වෙතත් මෙම සමාලෝචන වාර්තාව පිළිබඳ ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය මෙතෙක් අදහස් දක්වා නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<