එංගලන්ත ටෙස්ට් ක්‍රීඩකයින්ට IPL අවසානය මග හැරෙන ලකුණු

1047
Espncricinfo

2022 IPL තරගාවලියට සහභාගී වන එංගලන්ත ටෙස්ට් ක්‍රීඩකයින් එම තරගාවලියේ අවසානයට පෙර නැවත එංගලන්තයට කැඳවා ගැනීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ඔවුන්ව සූදානම් කිරීමේ අරමුණින්.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජුනි 2 වැනිදා Lords ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. IPL තරගාවලිය ආරම්භ වන දිනය තවමත් තීරණය කර නැති අතර දැනට පළවන වාර්තාවලට අනුව මාර්තු 27 වැනිදා සිට මැයි මාසය අවසන් වනතුරු තරගාවලිය පැවැත්වෙනු ඇත.

එංගලන්ත ක්‍රීඩකයින් IPL තරගාවලිය අවසන් වන තුරු රැඳී සිටියහොත් ඔවුන්ට Lords හි පැවැත්වෙන ටෙස්ට් තරගය අහිමි වීමේ අවදානමක් ද පවතිනවා. එමෙන්ම ඔවුන්ට ටෙස්ට් තරගය සඳහා සූදානම් වීමට ද ප්‍රමාණවත් කාලයක් ඉතිරි වන්නේ නැහැ.

මේ පිළිබඳව තවමත් එංගලන්ත ක්‍රීඩකයින් හෝ IPL කණ්ඩායම් නිල වශයෙන් දැනුවත් කර නැහැ. Cricbuzz වාර්තා කර සිටින අන්දමට IPL කණ්ඩායම් කිහිපයක්ම එංගලන්ත ක්‍රීඩකයින් අහිමි වුනහොත් තරගාවලිය ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව මේ වන විටත් සැලසුම් සකස් කරනවා.

එංගලන්ත ක්‍රීඩකයින් ද තමන්ට IPL තරගාවලිය අතරමග නැවත එංගලන්තයට පැමිණීමට සිදු වන බව අපේක්ෂා කරන බව Cricbuzz වාර්තා කරනවා.

එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත IPL ක්‍රීඩක වෙන්දේසිය අවසන් වන තුරු එංගලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙක් IPL තරගාවලිය සඳහා එක්වේද යන්න ස්ථිරවම පවසන්නට නොහැකියි.

නවසීලන්ත තරගාවලියට පෙර එංගලන්ත ක්‍රීඩකයින් දේශීය තරගයක් ක්‍රීඩා කළ යුතු යැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කොන්දේසියක් පැනවූවොත් මැයි 12 වැනි දින වන විට එංගලන්ත ක්‍රීඩකයින් නැවත එංගලන්තයට පැමිණිය යුතු වෙනවා.

එංගලන්ත ක්‍රීඩකයින් 22ක් මේ වන විට IPL තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. Jonny Bairstow, Mark Wood, Dawid Malan, Ollie Pope, Craig Overton, Sam Billings හා Dan Lawrence ද IPL තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙන අතර ඔවුන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ද නියෝජනය කරනවා.

Rajasthan Royals කණ්ඩායම Jos Buttlerව තමන්ගේ කණ්ඩායමේ රඳවා ගෙන තිබෙන අතර Joe Root, Ben Stokes හා Chris Woakes මෙවර IPL තරගාවලිය සඳහා එක්වන්නේ නැහැ.

Cricbuzz ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<