අවසන් වසරේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් පමණ සමන්විත ශක්තිමත් රග්බි සංචිතයකින් හෙබි කුරුණෑගල මලියදේව විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ සූදානම පිළිබඳව සොයා බැලීමට ThePapare.com අපි කුරුණෑගලට ගියෙමු. ඒ මෙවර පාසල් රග්බි වාරය අරම්භ වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ය.

සිල්වෙස්තර තුරඟුන් අලුත් මුහුණුවරකින් මෙවර රග්බි පිටියට

ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක මුහුණු රැසක් ද සමඟින් විද්‍යාර්ථයට එරෙහිව පී. එම්. එල්. බණ්ඩා හා බර්ටි..

කුරුණෑගල මලියදේව විද්‍යාලය B කාණ්ඩයෙන් තරග කරන අතර වසර 4, 5ක පළපුරුද්දක් සහිත ක්‍රීඩකයන් රැසකින් සමන්විත ඔවුන් මෙවර තරග වාරය ආරම්භ කරනුයේ ඉතා හොඳ තරගයක් ප්‍රතිවාදීන්ට ලබා දීමේ අපේක්ෂාවෙනි.

විශේෂයෙන්ම ස්ක්‍රම් හාෆ් ස්ථානයේ ක්‍රීඩා කරන දිල්ෂාන් අතපත්තුගේ අත්දැකීම් ඉහළ මට්ටමක පවතින අතර ඔහු කුඩා කාලයේ සිටම රග්බි ක්‍රීඩාවත් සමඟ එකටම සිටි අයෙකු බවත් මෙවර මලියදේව කණ්ඩායමේ නායකත්වය දරනු ලබන ලහිරු දෞලගල ද එවැනිම ක්‍රීඩකයෙකු බවත් අපට දැන ගන්නට ලැබුණි.

ක්‍රීඩකයන් 34 දෙනෙකුගෙන් පමණ සමන්විත රග්බි සංචිතයක් මලියදේවය සතුය. විශේෂයෙන්ම ලහිරු, ඉහිල්, දිල්ෂාන්, ධනංජය, යෙෂාන්, විකුම්, ඉෂාර, ධනුෂ්ක හා සංජු වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සතුව පවතින තනි පුද්ගල දක්ෂතා සියල්ල සැලකීමේ දී එය කණ්ඩායමට අමතර වාසියක් ගෙන දීමට සමත්වනු නොඅනුමානයි.

මේ පාර අවසන් වසරේ ඉන්න කට්ටිය ඊටත් වඩා දෙයක් කණ්ඩායම වෙනුවෙන් කරයි කියල ලොකු බලාපොරොත්තුවක් තියනවා.

පසුගිය දක්ෂතා

පසුගිය වසරේ පැවති අගමැති කුසලාන තරගාවලියේ දී කොළඹ ආනන්ද විද්‍යාලය පරදා ශූරතාවය දිනාගත් මලියදේව විද්‍යාලය එම දක්ෂතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ. එම අවසන් මහා තරගයේ දී ලකුණු තත්වය සටහන් වූයේ 22-20ක් වශයෙනි.

අගමැති ශූරතාවයට අමතරව බඳුන ශූරතාවය වෙනුවෙන් පැවති තරගයේ දී අනුශූරතාව ද දිනා ගැනීමට ඔවුන් සමත්ව ඇත. 2017 වසරේ පළමු වටයේ දී කාණ්ඩයේ දක්ෂතම කණ්ඩායම බවට ඔවුන් පත්ව ඇති අතර දෙවැනි වටයේ දී බඳුන අනුශූරතාවය දිනා ගැනීමට ද සමත්ව ඇත. මීට අමතරව මලියදේව ක්‍රීඩකයින් 2016 වසරේ දී පලිහ ශූරතාවය ද දිනා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව මෙවර ඵලක ශූරතාවයටත් වඩා ඉහළ ජයක් ඔවුන් අපේක්ෂා කරයි. එනම් මලියදේවය මෙරට පාසල් රග්බි ක්‍රීඩාව තුළ හොඳම කණ්ඩායම් 8 තුළට රැගෙන ඒම ඔවුන්ගේ අපේක්ෂාවයි.

මෙවර තරග වාරය

“මෙවර අපිට මුල්ම තරගය තියන්නේ තර්ස්ටන් විද්‍යාලයත් සමඟ. අපි හිතනවා ඒක දිනලා ඉතිරි ඒවත් හොඳට කරන්න. මොකද ගිය අවුරුද්දේත් අපි එයාලව පරාජය කළා. ඒ විතරක් නෙවෙයි අපිට ලොකු විශ්වාසයක් තියනවා A කාණ්ඩයට යන්න අපිට පුළුවන් වෙයි කියලා. ගිය අවුරුද්දේ අවසන් වසරේ ක්‍රීඩකයෝ හිටියේ හතර දෙනයි. ඒ අය ගොඩක් ලොකු දෙයක් කණ්ඩායම වෙනුවෙන් කරා. නමුත් මේ පාර අවසන් වසරේ ඉන්න කට්ටිය ඊටත් වඩා දෙයක් කණ්ඩායම වෙනුවෙන් කරයි කියල ලොකු බලාපොරොත්තුවක් තියනවා.” 6 වැනි වසර වෙනුවෙන් කණ්ඩායමට ක්‍රීඩා කරන කණ්ඩායම් නායක ලහිරු දෞලගල පවසයි.

පසුගිය වසරේ පැවති අගමැති කුසලාන තරගාවලියේ දී වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක දිල්ෂාන් අතපත්තුගේ සේවය මෙවර කණ්ඩායමට අහිමි වී ඇත්තේ ඔහු ආබාධයකට ලක්ව ඇති නිසාවෙනි.

මෑතක දී කණ්ඩායමට එකතු වූ නව පුහුණුකරු ආනන්ද කස්තුරිආරච්චි මහතාගෙනුත් කණ්ඩායමට විශාල සේවයක් ඉටු වෙයි. ක්‍රීඩකයන්ගේ බොහෝ දේ ඔහු මෙම කෙටි කාලය තුළ නිවැරදි කර ඇත. ඊට අමතරව නව ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙක් කණ්ඩායමට එක්ව ඇති අතර නව පුහුණුකරුගේ පැමිණීමෙන් පසු එම ක්‍රීඩකයා තුල සැඟවී තිබූ රග්බි දක්ෂතා එළියට පැමිණි බව ද කණ්ඩායම් නායකයා වැඩිදුරත් පැවසීය.

කණ්ඩයම් පුහුණුකරු පවසන්නේ දෙවන පෙළ ක්‍රීඩා කරන ධනංජය එම ස්ථානයටම සුදුසුම ක්‍රීඩකයා බවයි. ඊට අමතරව කණ්ඩායමේ උප නායකත්වය හොබවන ඉහිල් දෙව්පුර අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙකි. ෆ්ල්යි හාෆ් ක්‍රීඩක ඉෂාර හේරත්ගේ පා පහර දීමේ වේගය ද ඉතා ඉහළ මට්ටමක පවතී.

පුෂ්පේ හිත්ගොඩ භෞතචිකිත්සක වශයෙන් කණ්ඩායමට එක්ව සිටින අතර කණ්ඩායම භාරව කටයුතු කරන්නේ දිනේෂ් බණ්ඩාර මහතාය. මීට අමතරව ආදී සිසුන් හා සහය පුහුණුකරුවන් වන ලසන්ත හා සමන්සිරි දෙදෙනා ද 2014 වසරේ සිට මලියදේවය රග්බි ක්‍රීඩාවෙන් ඉහළට ඔසවා තැබීමට නිරතුරුවම කණ්ඩායමට සහය දක්වයි.

මෙවර මලියදේව රගර් සංචිතය මෙසේය.

ලහිරු දෞලගල (නායක), ඉහිල් දෙව්පුර (උපනායක), එච්. ධනංජය, අයි. යූ. දෙව්පුර, වී. ඩී. අතපත්තු, ඩී. අයි. හේරත්, වයි. මදුෂිත, එන්. කේ. ඉලංකෝන්, පී. ජයසේකර, ඩී. එම්. රණසිංහ, එස්. කේ. මදුශංක, එම්. ආර්. විජේසුන්දර, එස්. සී. හේරත්, එම්. පී. සංජිව, එස්. විජේකෝන්, එච්. කේ. ගුණවීර, ඒ. ඩී. සමරනායක, පී. ඒ. වීරරත්න, එස්. බී. හේරත්, කේ. එස්. දහනායක, එන්. ඉන්ද්‍රරත්න, ඩබ්. බී. ඒකනායක, එස්. එස්. ජයසිංහ, ටී. යූ. දිදුලංග, ඩී. පී. පියරත්න, ඒ. එම්. ඇල්ලගොන්න,  එස්. කේ. දේවපුර, ඒ. එස්. තෙන්නකෝන්, වයි. අමරසිංහ, බී. එම්. වීරසේකර, ටී. බී. අලුවිහාරේ, එස්. බී. පල්ලේගෙදර, ඩබ්. ඩී. ගනේගෙදර, පී. ටී. ගුණවර්ධන

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින මලියදේව විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක්කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

පාසල වෙනුවෙන් ඔබේ සුබ පැතුම් පහළින් comment කරන්න

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<