ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක මුහුණු රැසක් ද සමඟින් විද්‍යාර්ථයට එරෙහිව පී. එම්. එල්. බණ්ඩා හා බර්ටි නිල්ලේගොඩ අනුස්මරණ මහා රග්බි තරගය ජය ගැනීම සිය පරම අධිෂ්ඨානය කරගෙන මහනුවර සාන්ත සිල්වෙස්තර රග්බි ක්‍රීඩකයෝ එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට මනා සූදානමකින් පසු වේ.

පාසල් රග්බි පිටියට ගොඩබහින්නට තර්ස්ටන් විද්‍යාලය සූදානමින්

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ ජාත්‍යන්තරයට පිය මනින ක්‍රීඩකයන්ගේ තිඹිරිගෙය පාසල් පිටිය වන නිසාවෙනි.

සාන්ත සිල්වෙස්තර රග්බි කණ්ඩායම දේශීය රග්බි පිටියට ඉස්තරම් ක්‍රීඩකයින් රාශියක් දායාද කිරීමට සමත්ව ඇති අතර මහනුවර ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කළ ලසිත අත්තනගොඩ එහි මෑත කාලීන නිෂ්පාදනයක් විය. ලසිත අත්තනගොඩ නායකත්වය දැරූ 2012 වසර සිල්වෙස්තර තුරඟුන් හට ස්වර්ණමය වසරක් වූ බව රහසක් නොවේ. අවාසනාවකට A කාණ්ඩයට පිවිසීමට තිබූ අවස්ථාව ලකුණු තුනකින් ගිලිහි ගියත් B කාණ්ඩයේ පාසල් සාන්ත සිල්වෙස්තර නමට පවා කම්පනය වන තරමට ප්‍රබල කණ්ඩායමක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී තිබුණි.

කෙසේ නමුත් පසුගිය තරග වාරය නම් සිල්වෙස්තර තුරඟුන් හට එතරම් සුබ නොවුනත් තවදුරටත් B කාණ්ඩයේ රැඳී සිටීමට තරම් ප්‍රමාණවත් දක්ෂතා පෙන්නුම් කිරීමට ඔවුන්ට හැකි විය.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය නායක ආර්. එස්. පතිරණ

පසුගිය තරග වාරයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට, මහානාම විද්‍යාලයට, රිච්මන්ඩ් විද්‍යාලයට මෙන්ම සාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව තරග ජය ගැනීමට හැකි වුනත්, විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව පී. එම්. එල් බණ්ඩා හා බර්ටි නිල්ලේගොඩ අනුස්මරණ ශූරතාව උදෙසා පවත්වන මහා රග්බි තරගය ජය ගැනීමට නොහැකි වීම ඔවුන් පසුගාමී වීමට හේතුවක් ලෙස ඔවුන් සඳහන් කරයි.

වරින් වර ක්‍රීඩකයින්ට ඇති වූ ආබාධ කණ්ඩායමේ ඉදිරි ගමනට අකුල් හෙළන්නට විය. එනමුත් සියලු ගැටලු නිරාකරණය කර ගනිමින්, ආබාධ සුව කර ගනිමින් නව නායකත්වයක් යටතේ රග්බි පිටිය ආක්‍රමණය කිරීමට හොඳ සූදානමින් මෙවර ඔවුන් පුහුණුවීම් සිදු කරයි.

“මේ සීසන් එකේ ඉතින් චැම්ප්ස් වෙන්න තමා බලාපොරොත්තුව”

මෙවර තරගාවලිය සඳහා දෙසැම්බර් මාසයේ සිට කණ්ඩායම පුහුණුවීම් සිදු කරන අතර කණ්ඩායම මෙහෙය වීමේ වගකීම අඛණ්ඩව සිව්වැනි වසරටත් කණ්ඩායම නියෝජනය කරන රන්දික ශිවන්ක පතිරණ හට හිමිව තිබේ. ඔහු ’Center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් කණ්ඩයමේ කොඳු නාරටිය වෙමින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ හා නවක මුහුණු සියල්ල එක් අරමුණකට යොමු කිරීමේ වගකීම භාරගෙන තිබේ.

උපනායකයා ලෙස ‘No 8’ ස්ථානයේ ක්‍රීඩා කරන දිලංක ඉරෝශාන් බණ්ඩාර කටයුතු කරයි. කණ්ඩායමේ බර සිය කරට ගනිමින් නායකයාට නිදහසේ සිය ක්‍රීඩා විලාසයට මුසු වීමට අගනා සහයක් ඔහුගෙන් හිමි වීම මෙවර කණ්ඩායමට දැඩි ශක්තියක් වී තිබේ.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය උපනායක එල්. ඩී. අයි. බණ්ඩාර

Center ස්ථානයේ ක්‍රීඩා කරන එස්. එච්. බණ්ඩාර හට මෙවර පන්දුවට පා පහර දීමේ (kicker) වගකීම හිමිව තිබේ. ඔහු පන්දුවට පා පහර දීමේ වගකීම ඉටු කරන පළමු තරග වාරය මෙය වුනත්, තරගයක ප්‍රතිඵලය උඩුයටිකුරු කිරීමෙහි ලා ඔහුගේ අනගි සේවය නායකයාගේ බලාපොරොත්තුව වී තිබේ.

ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් නොව පසුපෙළ වේගවත් ධාවකයන්ගෙන් තරග දිනීම මෙවර සිය උපක්‍රමය කර ගත් සිල්වෙස්තර කණ්ඩායමට බී. එස්. බී. කපුකොටුව කදිම අවියකි. Fly Half ස්ථානයේ ක්‍රීඩා කරන වේගවත් ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර තරග වාරයේ දී සිල්වෙස්තර තුරඟුන් හට කදිම වේගවත් තුරඟෙකු වනු ඇත. ඔහුට අනගි සහයක් වෙමින් Wing ස්ථානයේ ක්‍රීඩා කරන එස්. ඒ. මධුභාතිය ද කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමීම සඳහා අනගි කාර්ය භාරයක් ඉටු කරනු ඇත.

පසුගිය වසරේ ක්‍රීඩකයින්ට ඇතිවූ ආබාධ හේතුවෙන් මෙවර කණ්ඩායමට භෞතචිකිත්සක වරයෙකු ඇතුළත් කිරීමට විදුහල් පරිපාලනය තීරණය කිරීම සියලු දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.

“ගිය අවුරුද්දට වැඩිය ලොකු සහයෝගයක් ඉස්කෝලෙන් දෙනවා මේ අවුරුද්දේ, ඒක නිසා හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා“

ThePapare.com හමුවේ අදහස් දක්වමින් කණ්ඩායමේ නායක රන්දික පතිරණ ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,විද්‍යා විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර තරග තමා අපිට ටිකක් අමාරු වෙන්නේ, කොහොම හරි හොඳ දෙයක් කරලා මේ පාර දිනන්න තමා බලාපොරොත්තුව. ලොකු අරමුණක් තියාගෙන අපි සෙල්ලම් කරන්නේ, ආබාධවලින් බේරිලා හොඳට සෙල්ලම් කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව, ගිය පාරත් ආබාධ හින්ද අපිට කරදර උනා.”

“කණ්ඩායම හොඳ එකමුතුකමකින් හා විනෝදෙන් ඉන්නවා, අපි කපුකොටුවගේ උපන්දිනයට කපුකොටුව මඩ වතුරෙන් නාවලා හොඳ සප්‍රයිස් එකක් දුන්නා, එක පවුලක් වගේ අපි සෙල්ලම් කරනවා, අයියලාගේ සර්ලගෙ සප්පොර්ට් එක අරන් ඔක්කොම එකට ඉඳලා හොඳ සීසන් එකක් කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ” යැයි කණ්ඩායමේ උපනායක දිලංක ඉරෝශාන් බණ්ඩාර පැවසිය.

කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන අරුණ රන්කොත්ගේ මහතා හට හිමි වී තිබේ. වසර ගණනක රග්බි පිටියේ අත්දැකීම්වලින් පරිණත වූ ඔහු ශ්‍රී ලාංකීය රග්බි පිටියේ ජ්‍යේෂ්ඨතම රග්බි විනිසුරුවරයෙකි. සාන්ත සිල්වෙස්තර විදුහල මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජය ද නියෝජනය කර ඇති ඔහු කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් බලයක් වනු ඇත.

මෙවර කණ්ඩායම නියෝජනය කරන සංචිතය පහත පරිදි වේ.

  • ආර්. එස්. පතිරණ (නායක)
  • එල්. ඩී. අයි. බණ්ඩාර (උපනායක)
  • කේ. ජී. බී. කපුකොටුව
  • පී. එච්. කරුණාරත්න
  • යූ. ඉන්සාන්
  • එම්. සිල්මි
  • එම්. ජී. ජී. එම්. බණ්ඩාර
  • එස්. ඒ. යූ. මධුභාතිය
  • ආර්. එම්. සුදහර
  • වී. පී. වර්ණසිරි
  • එම්. ඊ. සිරිමාන්න
  • එම්. සල්මා
  • එන්. කේ. ආරියවංශ
  • ඒ. එස්. අමරසේකර
  • එම්. එච්. ප්‍රවීන්
  • ඩී. කේ. එස්. කන්කානම්ගේ
  • එච්. එම්. කේ. එම්. දේශප්‍රිය
  • ඩී. එම්. ඒ. එස්. චන්ද්‍රතිලක
  • එස්. එස්. ප්‍රියන්ත
  • ටී. ඩී. බී. සමරසේකර
  • එස්. සී. ඩී. කපුකොටුව
  • එම්. එම්. ජී. කේ. ප්‍රේමජයන්ත
  • අයි. ඊ. ලන්දේවෙල
  • එච්. එම්. ඩී. ටී. බී. හේරත්
  • ඒ. එස්. එන්. ඩිල්ෂාර
  • එම්. හම්සා
  • ඩී. එස්. බී. ජයසුන්දර
  • පී. ඩී. එල්. කුමාර
  • එක්. ස්වාරුබන්
  • ඒ. කේ. එච්. එස්. අඹේවෙල
  • ඒ. ජී. වයි. බිම්සර
  • ඩබ්. ටී. සුබසිංහ
  • ඒ. ජී. ජී. ඩී. ජයසිංහ
  • වයි. ජී. අයි. ජී. කුමාරසිංහ

2018 වසරේ පාසල් රග්බි ලීග් තරගාවලියේ සිය අපේක්ෂා සියල්ල මුදුන්පත් කර ගැනීමට සාන්ත සිල්වෙස්තර විදුහලට හැකි වේවා යැයි ThePapare.com අප සුබාශිංසන එක් කරන්නෙමු.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<