ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ ජාත්‍යන්තරයට පිය මනින ක්‍රීඩකයන්ගේ තිඹිරිගෙය පාසල් පිටිය වන නිසාවෙනි.

පාසල් රග්බි පිටියේ A කාණ්ඩයේ සේම අද වන විට B කාණ්ඩයේත් තරගකාරිත්වය වර්ධනය වී ඇති අතර 2018 තරග වාරයේ එවැනි කණ්ඩායම් පිළිබඳව සොයා බැලීමට ThePapare.com අපි බලාපොරොත්තු වේ. ඒ අතරින් මේ ලිපිය වෙන් වන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රග්බි කණ්ඩායම වෙනුවෙනුයි.

අගනුවර රග්බි බල කණුව ලෙස විරුදාවලි ලත් කොළඹ ඉසිපතන විද්‍යාලයට, “අබ්දුල් ජබාර්” කුසලානය වෙනුවෙන් අඩසියවසකට අධික කාලයක් පුරාවට වසරක් පාසා අභියෝග කරන කොළඹ තර්ස්ටන් විද්‍යාලය මෙවර ඉතා හොඳ සංචිතයකින් සමන්විත වනවා සේම අවුරුදු පහක මුල්පෙළ පළපුරුද්දක් ඇති නායකත්වයක් ද ඒ අතර තිබීම විශේෂත්වයක්.

තරගාවලියට අපි යන්නේ අත්දැකීමුත් එක්ක. ඒ නිසා හොඳ සූදානමකින් ඉන්නේ.“

විද්‍යාලන්තර ලීගයේ තම ස්ථානය වෙනුවෙන් තර්ස්ටන් ක්‍රීඩකයින් දක්ෂ ලෙස තරග වැදුණු අතර මේ වන විට තර්ස්ටන් නාමය නියෝජනය කරමින් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් ක්‍රීඩා සමාජ රග්බි පිටිය අතික්‍රමණය කර හමාරය. පාසලෙන් මෑත කාලීනව බිහිවූවන් අතර විශ්ව දිනෙත් අද වන විට CH & FC කණ්ඩායම නියෝජනය කරන අතර නිලුපුල් දේවින්ද කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.  

තර්ස්ටන් රග්බි කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්කාන්

තර්ස්ටන් විද්‍යාලයේ පසුගිය වසරේ රග්බි ජයග්‍රහණ දෙස බැලීමේ දී 2016 ප්‍රිමියර් කුසලානයේ දී ඔවුන් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මීට අමතරව සහිරා විද්‍යාලය මගින් සංවිධානය කළ “සහිරා සෙවන්ස්” සත් සාමාජික තරගාවලියේ ඵලක ශූරතාවයට හිමිකම් කියන්නට ඔවුන් සමත් වූයේ ප්‍රබල රාජකීය විද්‍යාලය පරාජය කරමිනි.

මේ තරගාවලි ජයග්‍රහණ හැරුණු කොට ඔවුන් කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟින් “අබ්දුල් ජබාර්” කුසලානය සඳහා වන මහා රග්බි තරගයට ද වසර 55ක් මුළුල්ලේ සහභාගී වන අතර ඔවුන් අවසන් වරට එය ජයග්‍රහණය කර ඇත්තේ 2005 වසරේ දී ය.

පසුගිය තරගාවලියට සාපේක්ෂව වෙනස්කම් කිහිපයක්ම මෙවර සංචිතය තුල දක්නට ලැබෙන අතර සියල්ල අතරින් සහිරා ඵලක ශූරතාවය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයින් සත් දෙනෙකුම මෙම කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්.

ගිය අවුරුද්දේ ලුම්බිණි, මලියදේව, ආනන්ද විද්‍යාල එක්ක තිබුණු තරග අපිට පොඩ්ඩක් අමාරු වුනා

මෙවර තර්ස්ටන් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ මොහොමඩ් රිස්කාන් විසිනි. වසර පහක පළපුරුද්දක් සහිත අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු තර්ස්ටන් ආරක්ෂක වළල්ලේ මුලසුන හොබවයි. එසේම ෆ්ලයි හාෆ් ක්‍රීඩක තරුෂ ධර්මදාස සමඟින් එක්වුණු රවිඳු ප්‍රවීන් හා කණ්ඩායමේ උප නායකත්වය හොබවන කවිෂ්ක වන්නිආරච්චි මෙවර තර්ස්ටන් පෙළෙහි වගකීම් දරන අතර ඒ නිසාම මෙවර තරග වාරය පෙරට වඩා ඔවුන් හොඳ සූදානමකින් සිටිනු පෙනෙන්නට ඇත.තවද කණ්ඩායමේ නායකත්වයෙන් අප කළ විමසීමක දී සෙසු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ලෙස ප්‍රෝප් ක්‍රීඩක ෂේනුක හේරත්, හුකර් ක්‍රීඩක අවීශ රසිඳු, තේනුක රබෙල්, ප්‍රභාෂ් අයේෂ්මන්ත සහ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක නවිඳු චානුක හඳුන්වා දුන් අතර වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් රිස්කාන්,

“අපි මේ පාර මලියදේවය ඉලක්ක කරගෙන ඉන්නේ, මේ පාර අපේ පළමු තරගයත් තියෙන්නේ මලියදේව විද්‍යාලය එක්ක, ගිය පාර අපිට මඟ හැරුණේත් මේ තරගයයි. ඒ නිසා මැච් එකෙන් මැච් එක හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පුහුණු තරග කීපයක්ම ගහලා තියනවා, තරගාවලියට අපි යන්නේ අත්දැකීමුත් එක්ක. ඒ නිසා හොඳ සූදානමකින් ඉන්නේ.“

අපි බලාපොරොත්තු වෙනවා හොඳ කණ්ඩායමක් එක්ක තරගාවලියට මුහුණ දෙන්න.

තවද කණ්ඩායමේ උපනායක කවිෂ්ක වන්නිආරච්චි ThePapare.com සමඟ පවසා සිටියේ මෙවර තරගාවලිය දක්ෂ ලෙස ක්‍රීඩා කර A කාණ්ඩය වෙත පැමිණීම සිය අපේක්ෂාව බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ කණ්ඩායමේ උප නායක කවිෂ්ක වන්නිආරච්චි,

ගිය අවුරුද්දේ ලුම්බිණි, මලියදේව, ආනන්ද විද්‍යාල එක්ක තිබුණු තරග අපිට පොඩ්ඩක් අමාරු වුනා. ඒ වුනාට අපිට මේ පාර A කාණ්ඩයේ පුහුණුකරුවෙකු සහ දක්ෂ තවත් උප පුහුණුකරුවන් දෙදෙනෙකු සිටින නිසා මෙවර ඒ වැරදි හදාගෙන A කාණ්ඩයට යෑම අපේ බලාපොරොත්තුවයි.”

තර්ස්ටන් රග්බි කණ්ඩායමේ උපනායක කවිෂ්ක වන්නිආරච්චි

කණ්ඩායමේ පුහුණුකරුවන් දෙස බැලීමේ දී පාසල් පිටියේ තම හැකියාවන් පිළිබිඹු කළ ඉතා දක්ෂ පුහුණුකරු මඬුල්ලක් තර්ස්ටන් විද්‍යාලය සතු වීම සෙසු පාසල්වලට වඩා ශක්තියක් වන්නේය. ඒ අතරින් කොලින් දිනේෂ් මහතා ප්‍රධාන පුහුණුකරු ධූරය දරන අතර සහය පුහුණුකරුවන් ලෙස CH & FC කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන සසංක ආරියරත්න මහතා සමඟින් සුපුන් හේරත් මහතා කටයුතු කරන අතර ඔවුන් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට කැප වන බව පවසා සිටියහ. ඒ අතරින් අදහස් දැක්වූ තර්ස්ටන් සහය පුහුණුකරු සුපුන් හේරත් මහතා.

“මේ අවුරුද්දේ අපේ බලාපොරොත්තුව වෙන්නේ මේ කාණ්ඩයේ කණ්ඩායම් ශූරයන් වෙලා A කාණ්ඩයට තේරෙන්න, හොඳ කණ්ඩායමක් අප සතුයි. අවසන් වසරේ ක්‍රීඩකයන් දහ දෙනෙකුට අධික සංඛ්‍යාවක් අපට ඉන්නවා,ඒ අතර අවුරුදු 4, 5ක් වගේ ක්‍රීඩා කරපු අය ඉන්නවා, හොඳ සංචිතයක් ඉන්නවා මේ පාර, පළමු වසර අයත් ඉන්නවා, අපි බලාපොරොත්තු වෙනවා හොඳ කණ්ඩායමක් එක්ක තරගාවලියට මුහුණ දෙන්න.”

  • තර්ස්ටන් රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කොලින් දිනේෂ්

මෙවර තර්ස්ටන් සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් මෙසේයි.

මොහොමඩ් රිස්කාන් (නායක-අංක 8), කවිෂ්ක වන්නිආරච්චි (උප නායක), ෂේනුක හේරත් (ප්‍රොප්), අවීශ රජිඳු (හුකර්), තේනුක රබෙල් (ඉදිරි පෙළ), ප්‍රභාෂ් අයේෂ්මන්ත (දෙවන පෙළ), චතුක ජයසංක (දෙවන පෙළ), දුෂාන් ලක්ෂිත (ෆ්ලැන්කර්), චතුර මධුවන්ත (ෆ්ලැන්කර්), නවිඳු චානුක (ස්ක්‍රම් හෆ්), තරුෂ ධර්මදාස (ෆ්ලයි හාෆ්), අංජන අනුරාධ, රවිඳු ප්‍රවීන් , දිමුත් තාරක, උවිඳු චමුපති, තත්සර රුවන්ජිත්, උදාර ඩයස්, දමිත් සාලින්ද, කවිෂ්ක ගයෂාන්, ෂෙනාල් නඳුන්.

මෙවර පාසල් තරගාවලිය සඳහා සහභාගී වන කොළඹ තර්ස්ටන් විද්‍යාලයට දක්ෂතා අතරට පැමිණ ඔවුන් බලාපොරොත්තු වන කාණ්ඩ ශූරතාවය දිනා ගැනීමට හැකිවේවා’යි  ThePapare.com අප සුබ පතන්නෙමු.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<