ස්මිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා මෙවරත් අළු බඳුන කැන්ගරුවන් අතට!

132

සාමාන්‍ය ටෙස්ට් තරගාවලියකට වඩා අතිශයින්ම චමත්කාරජනක වූත් තරගකාරී වූත් අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (08) නිමාවට පත්වූයේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 185ක ජයක් හිමිකර දෙමිනි. ගණිතමය ආකාරයෙන් මෙය විශාල ජයග්‍රහණයක් වුවද අද පස්වැනි සහ අවසන් දිනයේ දී එංගලන්ත ක්‍රීඩකයින් තරගය බේරා ගැනීමට සෑහෙන වෙහෙසක් දරනු දැකගන්නට ලැබුනි.

නවෝද්ගේ විශ්මිත දස්කම් මැද ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයට!

යොවුන් ආසියානු කුසලානයට තවත් පියවරකින් සමීප වෙමින් තමන් මුහුණ දුන් දෙවැනි තරග අභියෝගය ද සාර්ථකව ජය….

මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී පැවති මෙම තීරණාත්මක තරගය ආරම්භ වූයේ ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන්ට කාසියේ වාසිය උරුම කර දෙමිනි. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීමට ඔහු නිවැරදි තීරණයක් ගත්තේය. එහි ප්‍රතිඵල දැකීමට හැකිවූයේ දෙවැනි දිනයේ අවසානයට වන්නටයි. එහිදී ඕස්ට්‍රේලියානු පිළ තම පළමු ඉනිම අත්හිටවූයේ කඩුලු 8කට ලකුණු 497ක් රැස් කිරීමෙන් අනතුරුවයි.

මෙවර අළු බඳුනේ සියළුම තරග වලදී මෙන්ම මෙහිදීත් කතා නායකයා බවට පත්වූයේ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ය. තම අසීමිත කැපවීම නිසාම දැන් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර ඉහළින්ම වැජඹෙන ඔහු ඕස්ට්‍රේලියානු ඉනිම අතරේ දී තම තෙවැනි ද්විත්ව ශතකය වාර්තා කර ගැනීමට සමත් විය. ඒ පන්දු 319කට මුහුණ දෙමිනි. මෙම දීර්ඝ වූත් විශිෂ්ට වූත් ඉනිම පුරාවට ඔහු හතරේ පහර 24කුත් හයේ පහර 2කුත් එල්ල කරමින් තම ඉනිම හැඩ ගැන්වූවේය.

මෙම තරගාවලියේම දෙවැනි තරගය අතරතුර ස්මිත්ගේ හිසේ පන්දුව වැදුනු මොහොතේ කණ්ඩායම හා එක්වූ මාර්නස් ල’බුශේන් ද මෙම තරගයේ දී ස්ථිර පිතිකරුවෙකු ලෙස ලකුණු 67ක් ලබා ගත්තේය. මීට අමතරව නායක ටිම් පේන් සහ මිචෙල් ස්ටාර්ක් අර්ධ ශතක වාර්තා කර ගත්හ. විශේෂයෙන්ම අළු බඳුන තෙවැනි ටෙස්ට් තරගය බෙන් ස්ටෝක්ස්ගේ ඉන්ද්‍රජාල පිතිකරණය නිසා පරාජය වීමෙන් අනතුරුව කණ්ඩායමට කැඳවීම් ලැබුණු මිචෙල් ස්ටාර්ක් මේ අයුරින් පිත්තෙන් ද දස්කම් දැක්වීම ඔහු ගැන තරගාවලිය ආරම්භයේ සිටම නොතැකූ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට සිතන්නට දෙයක් ඉතිරි කළේය.

කාර්තික් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැටලෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කර්තික් හට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චෝදනා ගොනු කිරීමේ ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ලකුණු පුවරුවේ පීඩනය සමඟින් පිලිතුරු ඉනිම ඇරඹූ එංගලන්ත පිළ එහිදී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය. නමුත් එය කැන්ගරු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 197ක පසුබෑමක් වූ නිසා තරගයේ වැඩි වාසි හිමිවූයේ ඕස්ට්‍රේලියානුවන්ටයි. කෙසේවෙතත් එංගලන්ත බලාපොරොත්තු තවදුරටත් රැකදුන් රෝරි බර්න්ස් ලකුණු 81ක් රැස් කරද්දී නායක ජෝ රූට් ලකුණු 71ක් ලබා ගනිමින් තම යුතුකම් කොටස ඉටු කළහ. තම කැඳවීමට උපරිම සාධාරණයක් ඉටුකළ මිචෙල් ස්ටාක් මෙහිදී කඩුලු 3ක් බිඳ හෙලූ අතර ජෝස් හැස්ල්වුඩ්ට කඩුලු 4ක් ද, පැට් කමින්ස්ට කඩුලු 3ක් ද හිමිකර දෙමින් එංගලන්ත පළමු ඉනිම අවසන් විය.

ඒ අනුව ලකුණු 197ක ඉදිරියක් සහිතව තරගය ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිළට තිබූ එකම අභියෝගය ලබාගත් මෙම වාසිය තරග ජයක් බවට පරිවර්තනය කර ගැනීමයි. නමුත් ඔවුන් දෙවැනි ඉනිම ආරම්භ කරන විට සිව්වැනි දිනයේ ද අඩක් ගෙවී ගොස් තිබුණු නිසා ඒ සඳහා ඉතිරිව තිබූ කාලය ඉතාමත් අල්ප විය. ඒ තරග ජයක් ලබා ගැනීමට නම් එංගලන්තයට නැවත වරක් පිතිකරණ අවස්ථාව ලබා දී ඔවුන්ව සම්පූර්ණයෙන්ම දවා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරි කර ගතයුතු බැවිනි.

මෙම අවස්ථාවේදී ද කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වූ ස්ටීවන් ස්මිත් තැනට සුදුසු ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 92කින් ලකුණු 82ක් රැස්කර ගත්තේය. මෙවර ශතකය කරා යන්නට ඔහුට නොහැකි වුවද මේ වනවිට ඔහු ටෙස්ට් ලකුණු සාමාන්‍යය 65කට ආසන්නයෙන් පවත්වා ගනිමින් පෙන්නුම් කරන්නේ තම සම කාලීන තරගකරුවා වන විරාත් කෝලිට වඩා ඉදිරියෙන් සිටිමින් ටෙස්ට් දිවිය අවසන් කිරීමට තමන්ට කාලයත්, හැකියාවත් ඉතිරිව ඇති බවයි. ස්මිත් මෙම ඉනිම පුරාවට හතරේ පහර 11ක් එල්ල කළේය.

ඒ අනුව සිව්වැනි දිනය අවසන් වීමට පන්දුවාර කිහිපයක් තිබියදී තම ඉනිම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් තීරණය කළේය. ඒ කඩුලු 6ක් දැවී ලකුණු 186ක් රැස් කිරීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් වසරක ක්‍රිකට් තහනමෙන් පසුව ජාත්‍යන්තර පිටියට පිවිසි ඩේවිඩ් වෝනර්ගේ අසාර්ථකත්වය මේ වනවිට පැහැදිලි වී ඇති අතර ඔහු මෙම තරගයේ දී ඉනිම දෙකටම මුහුණ දී කිසිදු ලකුණක් රැස් කිරීමට සමත් වූයේ නැත. ඒ අවස්ථා දෙකේදීම ඔහුව දවා ගත්තේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් විසිනි.

පෙරළිකාර වැඩ සමඟින් නිමා වුන තරගාවලියෙන් පස්සේ ශ්‍රේණිගත කිරීමට වෙච්ච දේ

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය වාර්තා ‍රැසකින් සමන්විත වූ අතර එම තරගාවලියේ දී කණ්ඩායම්……

ඕස්ට්‍රේලියානු පිළ බලාපොරොත්තු වූ අයුරින්ම සිව්වැනි දිනයේ සන්ධ්‍යා කාලයේ දී ඉක්මනින් ප්‍රතිවාදී කඩුලු 2ක් දවා ගනිමින් දිනය අවසන් කිරීමට ඔවුන්ට හැකිවිය. ඒ පස්වැනි දිනයේ ලබන තරග ජයක මිහිරි බලාපොරොත්තු සමඟයි. එහිදී මුල් ඉනිමේ තමන්ට හිසරදයක් වූ රෝරි බර්න්ස් සහ නායක ජෝ රූට් යන ලකුණු අතර සිටින පිතිකරුවන් යුගලයම කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කලේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසිනි.

නමුත් පස්වැනි දිනයේ මෙම තරගය බේරා ගැනීම සඳහා එංගලන්තය දැඩි වෙහෙසක් දැරූ අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 24ක් ද, සත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 21ක් ද, 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 14ක් ද ක්‍රීඩා කරමින් ඔවුන් උත්සාහ දැරුවේ කෙසේ හෝ දිනය නිමා වනතුරු තම දෙවැනි ඉනිම පවත්වා ගැනීමටයි. ඒ අනුව 9 වැනි කඩුල්ල වෙනුවෙන් සබඳතාවයක් ගොඩ නැගෙන විට ක්‍රම ක්‍රමයෙන් තරගය අවසානය කරා ලඟා වෙමින් තිබූ අතර ඕස්ට්‍රේලියාව අත තිබූ ජයග්‍රහණයක් අහිමි විය හැකි බව පෙනෙන්නට තිබුණි.

දිනය නිමා වීමට පන්දුවාර 15ක් තිබූ මේ මොහොතේ දඩබ්බර තීරණයක් ගත් ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් තම ප්‍රධාන පන්දු යවන්නන් ගැන නොතකා පන්දුව භාර දෙන්නේ අර්ධ කාලීන පන්දු යවන්නෙකු වන මාර්නස් ල’බුශේන්ටයි. මෙය අවස්ථා අපතේ හැරීමක් ලෙස විචාරකයින් හැඳින්වුවද අවසානයේ ල’බුශේන් විසින් ක්‍රේග් ඕවර්ටන් සහ ජැක් ලීච් අතරේ ගොඩ නැගුණු සබඳතාවය බිඳ හෙලන්නේ ඕස්ට්‍රේලියාව නැවතත් ජය මාවතට කැඳවමිනි.

මෙම සබඳතාවය බිඳ දැමීමෙන් අනතුරුව නැවතත් පන්දුව ජෝස් හැස්ල්වුඩ් අතට භාර දෙන ටිම් පේන් තම නායකත්වයේ ගුණාංග මැනවින් ඉස්මතු කරමින් තරගය අවසන් කරන්නේ ඕස්ට්‍රේලියාවට අවසන් හෝරාවේ ජයක රසය ගෙන දෙමිනි. එහිදී එංගලන්ත පිළේ අවසන් කඩුල්ල ලෙස ක්‍රේග් ඕවර්ටන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන්නේ මෙම තරගයේ බොහොමයක් අවස්ථා වලදී මෙන්ම මෙවරත් විනිසුරුවරුන් නිවැරදි බව සනාථ කරමිනි. එංගලන්ත දෙවැනි ඉනිම විනාශ කිරීමට පැට් කමින්ස් කඩුලු 4ක් බිඳ හෙලමින් මූලිකත්වය ගනිද්දී, හැස්ල්වුඩ් සහ ලයන් කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූහ.

DJගේ සැමරුම් CPL දී දැක ගැනීමට තිබූ අවස්ථාව අහිමි වේ

විස්සයි විස්ස තරග විශේෂඥයකු ලෙසින් ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන ප්‍රබල තුන්….

තරගයේ වීරයා සම්මානය අවිවාදයෙන්ම ඉනිම දෙකේදී මුළු ලකුණු 293ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ මහ පොදු සාධකය බවට පත්වූ ස්ටීවන් ස්මිත්ට හිමිවිය. දෙරට අතර පස්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදීයි. මෙම තරග ප්‍රතිඵලයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවයේ සිව්වැනි ස්ථානය තහවුරු කර ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවී තිබේ. ඒ තරග 4ක දී ලකුණු 56ක් රැස්කර ගනිමිනි. එම ලකුණු සටහනේ මුල් ස්ථාන තුන පිළිවෙලින් ඉන්දියාවට (120), නවසීලන්තයට (60) සහ ශ්‍රී ලංකාවට (60) හිමි වී ඇත. 

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලිය තුල 2-1ක් ලෙස ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන නිසා මෙවරත් අළු බඳුන ශූරතාවය තමන් සන්තකයේම රඳවා ගැනීමට ඔවුන්ට වාසනාව උදාවී ඇත. ඒ දෙරට අතර පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය එංගලන්තය ජයගෙන තරගාවලිය සම වුවද අළු බඳුන ශූරතාවය ගියවර ශූරයින්ට හිමිවන බැවිනි. 

ඕස්ට්‍රේලියා (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 497 (පන්දුවාර 126) ස්ටීවන් ස්මිත් 211, මාර්නස් ල’බුශේන් 67, ටිම් පේන් 58, මිචෙල් ස්ටාර්ක් 54*, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/97, ජැක් ලීච් 2/83, ක්‍රේග් ඕවර්ටන් 2/85.

එංගලන්ත (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 301 (පන්දුවාර 107) රෝරි බර්න්ස් 81, ජෝ රූට් 71, ජෝස් බට්ලර් 41, බෙන් ස්ටෝක්ස් 26, ජෝස් හැස්ල්වුඩ් 4/57, පැට් කමින්ස් 3/60, මිචෙල් ස්ටාර්ක් 3/80.

ඕස්ට්‍රේලියා (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 186 (පන්දුවාර 42.5) ස්ටීවන් ස්මිත් 82, මැතිව් වේඩ් 34, ටිම් පේන් 23*, ට්‍රැවිස් හෙඩ් 12, ජොෆ්රා ආචර් 3/45, ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/54.

එංගලන්ත (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 91.3) ජෝ ඩෙන්ලි 53, ජෝස් බට්ලර් 34, ජේසන් රෝයි 31, ජොනී බෙයාස්ටෝ 25, ක්‍රේග් ඕවර්ටන් 21, පැට් කමින්ස් 4/43, ජෝස් හැස්ල්වුඩ් 2/31, නේතන් ලයන් 2/51.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<