19න් පහළ මාතොට වීරයෝ

U19 Inter Schools Division i - Tier B Tournament 2023

302

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය පසුගිය දා සමත් වුනා.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟ කොළඹ, කිරිමණ්ඩල පාර ක්‍රීඩාංගණයේ දී පැවති   අවසන් මහා තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් මාතොට ක්‍රීඩකයෝ මෙම ශූරතාවට හිමිකම් කියමින් එළඹෙන වසරේ දී Tier A කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට සුදුසුකම් ලබා ගත්තා.

ඔවුන් මෙම තරගාවලියට සහභාගී වීමේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟ සාම්ප්‍රදායික තරගයකට ද සහභාගී වූ අතර එම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රතිවාදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා.

එම හේතුව නිසා ම දෝ අවසන් මහා තරගයේ දී කිසිඳු අවස්ථාවක ප්‍රතිවාදීන්ට හිස එසවීමට යම් හෝ ඉඩක් ලබා නොදෙමින් තරගයේ පාලනය තමන් වෙත ම තබා ගැනීමට මාතොට ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා.

මෙවර තරගාවලියේ දී Z කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නේ අපරාජිතව සිටිමින්. එම ප්‍රතිඵලත් සමඟින් අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට හමුවෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. එම තරගයේ දී ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ඊළඟ වටයට සුදුසුකම් ලබා ගන්නවා.

එවර ඔවුන්ට හමුවෙන්නේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. තීරණාත්මක එම තරගය විසඳුමකින් තොරව අවසන් වූවත් ප්‍රසාද ලකුණු මත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මාතොට ක්‍රීඩකයෝ සමත් වුනා.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ගමන් මඟ
ප්‍රතිවාදීන් විසඳුම
1 සාන්ත අන්තෝනි විද්‍යාලය, වත්තල. සාන්ත සර්වේශස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 4ක ජයක්.
2 ලුම්බිණි විද්‍යාලය,

කොළඹ.

සාන්ත සර්වේශස් විද්‍යායට පළමු ඉනිමේ ජයක්.
3 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ සාන්ත සර්වේශස් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
4 දේවපතිරාජ විද්‍යාලය,

රත්ගම.

සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
5 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය,

මහනුවර.

සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක්.
අර්ධ අවසන් පුර්ව තරගය
6 ආනන්ද විද්‍යාලය, කොළඹ සාන්ත සර්වේශස් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක්.
අවසන් පූර්ව තරගය
7 මහින්ද විද්‍යාලය,

ගාල්ල

තරගයේ විසඳුමක් නෑ.
අවසන් මහා තරගය
8 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක්.

අවසන් මහා තරගය

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේශස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් විරාන් චමුදිත පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. පන්දු යැවීමේ දී හසිඳු පෙරේරා ලකුණු 54කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වුනේ සියලුම දෙනා දැවී ලකුණු 110ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශෙහාන් ආදිත්‍ය. ඔහු  පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී කුෂාන් විජේරාම ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිද්දී තරුෂ් දමිඳු, චිරාන් නෙත්තරු සහ චතුම් බිම්සර කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

ලකුණු 89ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 211ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් දිනුරු අබේවික්‍රමසිංහ පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා.

ඔහු විශ්ව සුපුන් සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 109ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා. විශ්ව සුපුන් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී හසිඳු පෙරේරා ලකුණු 75කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී පෑ දක්ෂතාත් සමඟින් තරගයේ දී ලකුණු 129කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව:

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (69.3) දෙනුවන් ප්‍රමෝද් 36, විශ්ව සුපුන් 19, දිනුරු අබේවික්‍රමසිංහ 30, චිරාන් නෙත්තරු 30, විරාන් චමුදිත 50, හසිඳු පෙරේරා 5/54, ශෙහාන් ආදිත්‍ය 2/58
  • මාරිස් ස්ටෙලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (45.1) ශෙහාන් ආදිත්‍ය 48, තරුෂ් දමිඳු 2/38, චිරාන් නෙත්තරු 2/15, කුශාන් විජේරාම 4/22, චතුම් බිම්සර 2/02
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 211 (48.2) මිතිල චාල්ස් 19, දිනුරු අබේවික්‍රමසිංහ 115, විශ්ව සුපුන් 43, හසිඳු පෙරේරා 4/75

සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක්.

  • සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම: චිරාන් නෙත්තරු (නායක) තරූෂ් දමිඳු (උප නායක) විරාන් චමුදිත, මිතිල මින්සර, තාරුක ඉමදිත්, විශ්ව සුපුන්, දෙනුවන් ප්‍රමෝද්, රවීන් කවින්ත, තිසාන් දෙවිමින්, බිනාල් නෙත්මක, දිනුරු අබේවික්‍රමසිංහ, රිසිනු කිත්නුක, චමරිඳු නෙත්සර, කලණ සංකල්ප, චතුම් බිම්සර, කුශාන් විජේරාම, එච්. එල්. එම්. එම්. චාල්ස්, අහමඩ් සජිඩ්, අශාන් හිරුෂ, චලන ඉඳූෂ, ප්‍රවීන් මධුශංක, අම්රි අහමඩ්, රසිඳු ඉමල්ෂ, කවිත් රන්සර, හේෂාන් හිරුෂ, තරිඳු ධනුශ්ක, සමිරු ගිම්හාන්, ප්‍රනීත් මිහිරංග.
  • නිලධාරීන්: එච්. කේ. එල්. බී. විරාජිත (විදුහල්පති), නයනානන්ද ද සිල්වා (ක්‍රීඩා භාර ආචාර්ය), අයි. ජී. චාමර (ක්‍රිකට් භාර ආචාර්ය), පී. බී. බුද්ධික (ප්‍රධාන පුහුණුකරු), ඒ. එම්. ප්‍රියන්ත (පුහුණුකරු), කවිඳු දුලක්ෂිත (සහාය පුහුණුකරු).

U19 Div i Tier B Champions St Servetius Collegeසාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වූවෝ

කණ්ඩායමේ දක්ෂතා දැක්වූවන් අතරින්  ඉදිරියෙන් ම සිටින්නේ දිනුරු අබේවික්‍රමසිංහ. ඔහු මෙවර තරගාවලියේ දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 130ක්, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලකුණු 100ක් සහ මොරටු මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 116ක් ලෙසින් ශතක 3ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. අනතුරුව අවසන් මහා තරගයේ දී ද ශතකයක් ලබා ගන්නා ඔහු ඒ සමඟ ම මෙවර තරග සමයේ දී ලකුණු 1000ක් ලැබූවන් අතරට පිවිසීමට ද සමත් වුනා.

ඉන් අනතුරුව වඩාත් දැක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින්  විශ්ව සුපුන්ට හිමිට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලය සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දී නොදැවී ලකුණු 101ක් ලබා ගනිමින් පෑ දක්ෂතාව සාන්ත සර්වේශස් විද්‍යාලයේ ජයග්‍රාහී මෙම ගමනට වඩාත් ඉවහල් වූවා. ඊට අමතර ව ඔහු කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා.

කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 124ක් සහ අවසන් මහා තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් විරාන් චමුදිත ද මෙම ජයග්‍රහණයට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දායකත්වය දැක්වූවා.

වමතින් දඟපන්දු යැවූ විරාන් චමුදිත මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් හොඳම දක්ෂතාව දැක් වූ අතර ඊට අමතර ව කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 58කට කඩුලු 5ක් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූවා.

කණ්ඩායමේ නායක විරාන් නෙත්තරු ද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් දැක්වූවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට සහ මොරටු විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සහ මොරටු විද්‍යාලයට එරෙහිව කඩුලු 5 බැගින් ද සහ ගාල්ල මහින්ද විද්‍යාලයට සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 බැගින් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඊට අමතර ව උපනායක තරුෂ් දමිඳු, දෙනුවන් ප්‍රමෝද්, මිතිල චාල්ස්, කුශාන් විජේරාම, චතුම් බිම්සර සහ තිසාන් දෙව්මිත් ද සාන්ත සර්වේශස් විද්‍යාලයීය ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූවා.

ඔවුන් පැමිණි මේ ගමනට මෙන් ම මාතර සාන්ත තෝමස් විද්‍යාලයට සමඟින් පැවති 123 වැනි රුහුණු නිල් සටනේ දී ද වැඩි වාසි දිනා ගැනීමට සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා. ඊට සමගාමීව පැවති එක්දින තරගයේ දී ශූරතාව දිනා ගන්නා ඔවුන් මෙම ශූරතාවත් සමඟ මෙවර ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත් වෙනවා.

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී Tier B කාණ්ඩයේ සිට Tier A කාණ්ඩය දක්වා උසස් වීම් ලද මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<