පාසල් ක්‍රිකට් නැවත ආරම්භය ගැන ඉඟියක්!

පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

199

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මූලික අඩිතාලම වෙමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප්නැංවූ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ 2021 අදියර ඇරඹීමේ පළමු පියවර ලෙස එළඹෙන මාර්තු මාසයේ දී වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් සකසමින් සිටින බව වාර්තා වේ. 

මෙහි ප්‍රධානතම ඉලක්කය වන්නේ 2022 වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා 19න් පහළ බාලක සහ බාලිකා සංචිත තෝරාගැනීම වේ. 2020 (2021) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා ThePapare.com කළ විමසීමක දී තහවුරු කර සිටියේය. 

“ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අපි මේ ගැන දැනුම්වත් කරලා තියෙනවා. නමුත් එහේ අවසරය ආවයින් පස්සේ තමයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට මේ තරගාවලිය පවත්වන්න වෙන්නේ. එහෙම නැතිව මේ තරගාවලිය පවත්වන්න බැහැ. ලබන සතිය වෙද්දී අධ්‍යාපන දෙපාර්තුවෙම්න්තුව පැත්තෙන් අන්තිම තීරණයක් එයි කියලා අපි හිතනවා.” 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වුවහොත් එළඹෙන මාර්තු මස සිට අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සීමිත පන්දුවාර තරගාවලියක් ලෙස ඇරඹෙනු ඇත. 19න් පහළ පළමු කාණ්ඩය, දෙවන කාණ්ඩය සහ තෙවන කාණ්ඩය ලෙස කාණ්ඩයන් 3ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ. 

19න් පහළ පළමු කාණ්ඩයේ (Division 1) තරගාවලිය පළමු සහ දෙවන ලෙස  (Tier A & B)  කොටස්  දෙකක් යටතේ පැවැත්වේ. එක් කොටසකට (Tier) පාසල් 18ක් අයත් වන අතර ඒ ඒ කොටස් දෙක අනු කාණ්ඩ 3 (Group) බැගින් Tier A & B තුළ අනු කාණ්ඩයම් 6කට බෙදෙනු ඇත.  

සෑම අනු කාණ්ඩයක් තුළම පාසල් 6ක් එකිනෙකා සමඟින් තරග වදිනු ඇති අතර එක් පාසලකට පළමු වටයේ දී උපරිම වශයෙන් තරග කිරීමට ලැබෙන්නේ තරග 5ක් පමණි. සෑම අනු කාණ්ඩයන් තුළම මූලික වටයේ තරග පැවැත්වීමෙන් අනතුරුව ඒ ඒ අනු කාණ්ඩයේ (Group) ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින හොඳම කණ්ඩායම් දෙක ඒ ඒ කොටසේ (Tierහි ) අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 

අර්ධ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් 6ක් ඉහත ආකාරයෙන් තෝරාගැනීමෙන් අනතුරුව ඉතිරි කණ්ඩායම් දෙක, ඒ ඒ අනු කාණ්ඩයන්ගේ තුන්වන ස්ථාන (3rd Place) ගත් පාසල් තුනෙන් ‘වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් හෝ ප්‍රසාද ලකුණු (Points) සම වී පැවතියහොත් දළ ලකුණු පවත්වා ගැනීමේ වේගය (NRR) මත ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක’ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇත. 

අර්ධ අවසන් පූර්ව වටයේ සිට මෙම තරගාවලිය ක්‍රියාත්මක වන්නේ පිළිමලුන් පිටුදැකීමේ ආකාරයටයි. එසේම මෙම තරගාවලිය සම්මත එක්දින ක්‍රිකට් නීති රීති වලට අනුකූලව පැවැත්වෙනු ඇති අතර කාණ්ඩයන්ගේ (Divisions) සහ කොටස් අතර (Tiers) උසස්වීම් සහ පසුබැසීම් සිදුවන ආකාරය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. 

වයස අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ තරගාවලිය ද පළමු කාණ්ඩයේ තරගාවලියේ ආරයටම පැවැත්වෙනු ඇති අතර තෙවන කාණ්ඩයේ තරගාවලි සහ බාලිකා තරගාවලි පැවැත්වෙන ආකාරය පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කිරීමට නියමිත බව වත්තුහේවා මහතා පැවසීය. 

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටියේ නවමු තොරතුරු ඇතුළුව ක්‍රීඩා පිටියේ දැනගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<