බුම්රාහ්ගේ ඉන්ද්‍රජාලය නිසා සුපිරි පන්දුවාරයේ ජය මුම්බායි පිළට

1141

අවාසනාවේ මාවතේ ඉදිරියටම ගමන් කරමින් සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර තරගාවලියේ සත්වැනි පරාජයට ඊයේ (29) දිනයේ දී මුහුණ පෑමට සිදුවිය. ඒ රයිසින් පූනේ පන්දු යැවීම හමුවේ නැවතත් තම පිතිකරණය අසාර්ථක කර ගැනීම හේතුවෙනි. මීට අමතරව ඊයේ පැවති සුපිරි පන්දුවාරය දක්වාම ඇදී ගිය අනෙක් තරගයේ දී මුම්බායි කණ්ඩායමට තියුණු ජයක් හිමිවිය.

ඇන්ඩෘ ටයි සහ ඒරෝන් ෆින්ච් ගුජරාට් ජය ස්ථිර කරයි

ගේල්, කෝලි, ඩිවිලියර්ස් සහ බද්රි වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයින් රැසකින් සමන්විත වන නමුත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ…

රයිසින් පූනේ සුපර්ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ එහි ආධාරකරුවන් වටා ගොඩ නැගී සන්තාපය තව තවත් වැඩි වර්ධනය කරමින් ඊයේ රයිසින් පූනේ සුපර්ජයන්ට් පිළට එරෙහිව පැවති තරගයෙන් ද ලකුණු 61ක දරුණු පරාජයක් භාර ගැනීමට බැංගලෝර් පිළට සිදුවිය. නම් දැරූ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම නියෝජනය කළද ඔවුන් කිසිවෙකුත් තම රිද්මය සොයා ගැනීමට අපොහොසත් වී සිටීම නිසා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටය අහිමි වී යාමේ ඉහළ අවදානමකට මුහුණ පා සිටියි.

පූනේ හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කෝලි මුලින් පන්දු යැවීමට තීරණය කළේය. ඊට ප්‍රතිචාර ලෙස පූනේ පිතිකරුවන් තමන්ට නියමිත පන්දුවාර 20 තුලදී ලකුණු 157ක් රැස් කළහ. ඒ අතරතුර බිඳ වැටුනේ කඩුලු 3ක් පමණි. නායක ස්ටීවන් ස්මිත් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 45ක් රැස් කළේය. ඒ පන්දු 32ක් පමණක් වැය කරමිනි. මනෝජ් තිවාරි සහ එම්.එස්. දෝනි නොදැවී පන්දුවට පහර දෙමින් පිළිවෙලින් ලකුණු 44 සහ 21 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී බිනී, නෙගී සහ බද්රි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ දැරූ රෝයල් චැලෙන්ජර්ස් ඉනිම ලකුණු 96කට සීමාවිය. ට්‍රැවිස් හෙඩ්, ඒ.බී. ඩිවිලියර්ස් වැනි සුපිරි පිතිකරුවන්ගෙන් සමන්විත රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම දිගින් දිගටම මෙවන් අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී යාම මෙවර අයි.පී.එල් තරගාවලියේ විස්මිත සිදුවීමක් බවට පත්ව ඇත. දුරකථන අංකයක් ලෙසින් දිස්වුනු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් රැස්කර ගත්තේ නායක කෝලි පමණි. පන්දු 48ක් තුල වාර්තා වුනු ඔහුගේ ලකුණු 55ට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර්ගේ දකුණත් පා දඟ පන්දුවට බැංගලෝර් පිතිකරුවන් තිදෙනකු ගොදුරු විය. මීට අමතරව නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් ඩිවිලියර්ස් සහ ස්ටුවර්ට් බිනී ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යවමින් ජයග්‍රහණය පූනේ කණ්ඩායමට ලබා දුන්නේය. තරගයේ වීරයා සම්මානය ද දිනාගත් ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 4ටම බැංගලෝර් පිතිකරුවන් ලබා ගත්තේ ලකුණු 7ක් පමණි.

රයිසින් පූනේ – කඩුලු 3ක් දැවී ලකුණු 157 (පන්දුවාර 20): ස්ටීවන් ස්මිත් 45, මනෝජ් තිවාරි 44*, රාහුල් ත්‍රිපති 37, එම්.එස්. දෝනි 21*, ස්ටුවර්ට් බිනී 1/17, පවන් නෙගී 1/18, සැමුවෙල් බද්රි 1/31.

රෝයල් චැලෙන්ජර්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 96 (පන්දුවාර 20): විරාත් කෝලි 55, ශ්‍රීනාත් අරවින්ද් 8, කෙඩාර් ජාදෙව් 7, ඉම්රාන් තහීර් 3/18, ලොකී ෆර්ගසන් 2/7, වොෂින්ටන් සුන්දර් 1/7.


ගුජරාට් ලයන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය

මෙවර අයි.පී.එල්. තරගාවලියේ සුපිරිතම තරගයක් බවට පත්වුණු මෙම තරගය රාජ්කොට් හිදී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායක සුරේෂ් රයිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුලදී ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව 153කි. තවමත් 18 වැනි වියේ පසුවන ඉශාන් කිෂාන් මුම්බායි පිළේ මාලිංග, මැක්ලනගන් වැනි සුපිරි පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් ලකුණු 48ක් රැස් කළේය. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගිනි.

කෙසේවෙතත් මැකලම්, රයිනා සහ ෆින්ච් වැනි සුපිරි පිතිකරුවන් තනි ලකුණකට සීමාවීමත් සමඟ ගුජරාට් කණ්ඩායම යම් පසුබෑමකට ලක්විය. නමුත් පසුපෙළ පිතිකරුවන් ලෙස පිළිවෙලින් ලකුණු 25 සහ 21 බැගින් රැස්කළ ඇන්ඩෘ ටයි සහ ජේම්ස් ෆෝක්නර් නිසා ගුජරාට් ලයන්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලකුණු 153ක් රැස්කර ගැනීමට හැකියාව උදාවිය. පන්දු යැවීමේදී කෘනාල් පාණ්ඩ්‍යා සහ කඩුලු 3ක් බිඳ හෙලූ අතර මාලිංග සහ බුම්රාහ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මෙම ඉනිම හඹා යාමට උත්සාහ කළ මුම්බායි කණ්ඩායම ද හරියටම ලකුණු 153කට සීමාවිය. ඒ අවසන් පන්දුවේදී ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් ලබා ගැනීමට පන්දුවට පහර දුන් ලසිත් මාලිංගට නොහැකි වූ බැවිනි. කෙසේවෙතත් මුම්බායි පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ලකුණු 70ක් රැස් කිරීමට පාතිව් පටෙල් සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

කණ්ඩායම් දෙකම එකම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම නිසා තරගයේ තීරණය සුපිරි පන්දුවාරයක් මගින් විසඳා ගැනීමට දෙපාර්ශවයම සූදානම් විය. ඒ අනුව පිටියට පිවිසි කිරන් පොලාර්ඩ් සහ ජෝස් බට්ලර්ව දවා ගනිමින් මුම්බායි පිළ ලකුණු 11කට සීමා කිරීමට පූනේ ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් සමත් විය. මෙම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යොදාගනු වෙනුවට මුම්බායි කළමනාකාරීත්වය පන්දුව භාර කරන්නේ නැගී එන වේග පන්දු යවන්නෙකු වන ජස්ප්‍රිට් බුම්රාහ්ටයි.

ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 12ක පහසු ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් පිටියට පිවිසියේ ලෝකයේ සිටින සුපිරිතම ප්‍රහාරකයින් දෙදෙනෙකු වන ඒරෝන් ෆින්ච් සහ බ්‍රෙන්ඩන් මැකලම් යන පිතිකරුවන් දෙදෙනායි. නමුත් වේගය අඩාල කරමින්, නිසි ස්ථානයේ පන්දුව පතිත කරමින් ඉන්ද්‍රජාලික පන්දු යැවීමක යෙදුණු බුම්රාහ් ගුජරාට් පිළ ලකුණු 6කට සීමා කළේය. පන්දුවාරය තුල නීති විරෝධී පන්දුවක් සහ වයිඩ් පන්දුවක් ඇතුළත් වුවද ඉතිරි පන්දු කිහිපයේ දී ගුජරාට් පිතිකරුවන් දෙදෙනාව සම්පූර්ණයෙන්ම පරාජය කල බුම්රාහ් මෙම තරගයෙන් මුම්බායි කණ්ඩායමට තවත් විශිෂ්ට ජයක් හිමිකර දුන්නේය. තරගයේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කෘනාල් පාණ්ඩ්‍යාට හිමිවිය.

ගුජරාට් ලයන්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 153 (පන්දුවාර 20): ඉශාන් කිෂාන් 48, රවින්ද්‍ර ජඩේජා 28, ඇන්ඩෘ ටයි 25, ජේම්ස් ෆෝක්නර් 21, කෘනාල් පාණ්ඩ්‍යා 3/14, ජස්ප්‍රිට් බුම්රාහ් 2/32, ලසිත් මාලිංග 2/33.

මුම්බායි ඉන්දියන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 20): පාතිව් පටෙල් 70, කෘනාල් පාණ්ඩ්‍යා 29, නිතිශ් රානා 19, කිරන් පොලාර්ඩ් 15, බැසිල් තම්පි 3/29, ජේම්ස් ෆෝක්නර් 2/34.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට