ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

369

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික Grant Luden මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Grant Ludenගේ සේවය අද (11) සිට බලපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික ශක්තිය වර්ධනය කිරීම වෙනුවෙන් මේ මහතාගේ සේවය ලබාගෙන තිබෙන අතර Luden ඒ පිළිබඳ විශේෂඥයකු ලෙස ශ්‍රී ලංකා ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින කණ්ඩායම් සියල්ලෙහිම ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව කටයුතු කරනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

Luden ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට එළඹීමට ප්‍රථම 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලසීමාවේ දී පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික ශක්තිය වර්ධනය කිරීම සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම 2017 වසරේ දී ශූරයින්ගේ කුසලානය දිනා ගන්නා අවස්ථාවේ දී කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය දියුණු කර ගැනීම සඳහා Luden වැඩි දායකත්වයක් දක්වනු ලැබීය. ඊට අමතරව ඔහු 2008 සහ 2013 කාලසීමාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද සමඟ කටයුතු කරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇත.

ජාත්‍යන්තර අත්දැකීම්වලට අමතරව Luden දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන Nasuha Titans සහ BPL ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන Dhaka Gladiators කණ්ඩායම සමඟ ද කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩා හා ව්‍යායාම තාක්ෂණය පිළිබඳව උපාධිධාරියකු වන මේ මහතා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද තෙවැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු සහතිකය ද ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත Ludenගේ සේවය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා මෙසේ සිය අදහස් පවසා සිටියා.

“අපේ ක්‍රිකට් පද්ධතියට අපි Ludenව සාදරයෙන් පිළිගන්නවා. ඔහුගේ පැමිණීම හරහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන ක්‍රීඩකයින්ගේ ශාරීරික ශක්තීන් වර්ධනය කිරීම සම්බන්ධව වැඩි යමක් එක් කළ හැකි බව අපි විශ්වාස කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<