එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තහවුරුයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020/21

144
England tour of Sri Lanka 2021

2021 ආරම්භයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (9) නිල වශයෙන් තහවුරු කරන ලදි. කෙසේ නමුත් මේ තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා පිටිය තුලට පැමිණීමට නොහැකි වනු ඇත.

ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ටෙස්ට් තරග දෙකක් වන අතර තරග සියල්ල ජෛව ආරක්ෂිත බුබුලක් (Bio Secure bubble) යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වී නොමැති අතර කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල කල් දමන ලදි.

LPL තරගාවලිය අවසන් වූ වහාම දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ මාස 10කට ආසන්න දිගු විරාමයකට පසුව වීම විශේෂත්වයකි. කෙසේ නමුත් එම දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම ද යම් අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන නිසාවෙනි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක අවසන් වූ වහාම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දිවයිනට පැමිණ දින 7ක් ගාල්ලේ දී නිරෝධායනය වනු ඇත. ඒ ජනවාරි 14 ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙනි.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම ලබන මස 3 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පසුව ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එංගලන්ත කණ්ඩායම සිය පුහුණු සැසිය දියත් කිරීමට දැනට සැලසුම් කර තිබේ.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. ශ්‍රී ලංකාව දැනට ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් එහි 6 වැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග දෙක සඳහා ප්‍රසාද ලකුණු 120ක් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි පුහුණු තරගය ද අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා යාමට එංගලන්තය කටයුතු කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<