ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තවත් තරග ද්විත්වයක් පෙර දින (26) අවසන් වූ අතර එහි දී මෙවර තරගාවලියේ මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දුශ්මන්ත චමීර සම් වූ අතර මෙවර තරගාවලියේ පිට පිට 2 වැනි අර්ධ ශතකය රැස් කිරීමට චාමික කරුණාරත්න සමත් වූවා.
>>කමිඳු මෙවර තරගාවලියේ හොඳම ඉනිම ක්‍රීඩා කරයි<<
13 වැනි තරගය, Jaffna Kings සහ Kandy Royals රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Jaffna Kings
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 106ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් Jaffna Kings කණ්ඩායමට ලකුණු 93ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
Kandy Royals
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා (කඩුලු රකින්නා), ලහිරු උදාර, Dale Phillips, Vijay Shankar, Moeen Ali, වනිඳු හසරංග, දුශාන් හේමන්ත, Shaheen Shah Afridi, අසිත ප්‍රනාන්දු, ගරුක සංකේත්, නුවන් තුෂාර.
Jaffna Kings
භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, Towhid Hridoy, චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, Ibrahim Zadran, Shakib Al Hasan, David Wiese, ට්‍රවීන් මැතිව්, මොහොමඩ් ශිරාස්, ඩිල්ශාන් මදුශංක.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම් ඉනිම ආරම්භ කළ කමිල් මිෂාර සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව පළමු කඩුල්ලට පන්දු 77කදී ලකුණු 129ක් එක් කරනවා.
එහි දී ඉනිමේ පළමුවෙන් ම දැවී ගිය අවිශ්ක ප්‍රනාන්දු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 36ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද මංගල අර්ධ ශතකයි.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව එම ඉනිමට තවත් ලකුණු 31ක් එක් වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු කමිල් මිෂාර ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා. එය ද ඔහු මෙවර තරගාවලියේ දී ලබා ගත් පළමු අර්ධ ශතකයයි.
ඔවුන් දෙදෙනාට අමතර ව කණ්ඩායම හා එක් වූ නවක ක්‍රීඩක Towhid Hridoy පන්දු 21ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Shaheen Shah Afridi ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුශාන් හේමන්ත කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ලහිරු උදාර. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා. එය ඔහු මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද 3 වැනි අර්ධ ශතකයයි.
ඊට අමතර ව Shaheen Shah Afridi පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට Jaffna Kings පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාස් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව David Wiese, ට්‍රවීන් මැතිව් සහ Shakib Al Hasan කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Jaffna Kings – කඩුලු 4ක් දැවී 199 (20.0) කමිල් මිෂාර 78, අවිශ්ක ප්‍රනාන්දු 66, Towhid Hridoy 35, Shaheen Shah Afridi 3/27
Kandy Royals – සියලුම දෙනා දැවී 106 (18.2) ලහිරු උදාර 54, Shaheen Shah Afridi 22, Mohamed Shiraz 3/18, දුනිත් වෙල්ලාලගේ 3/21
Jaffna Kings කණ්ඩායමට ලකුණු 93ක ජයක්.
තරගයේ වීරයා – කමිල් මිෂාර (Jaffna Kings)
- ජනිත්, සහන් සහ වෙල්ලාලගේ අර්ධ ශතක ලබා ගනී
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- Royals ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය වාර්තා කරයි
- 23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්
- මානස සහ හිරුණ ද්විත්ව ශතක සමාජයට
14 වැනි තරගය, Galle Gallants සහ Dambulla Sixers, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle Gallants
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gallants කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 220ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් Galle Gallants ක්‍රීඩකයෝ ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), චරිත් අසලංක, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, Mohammad Nawaz, තරිඳු රත්නායක, දිනුර කළුපහන, සචිඳු කොළඹගේ, Akif Javed, ඒශාන් මාලිංග, Mohammad Wasim.
Dambulla Sixers
දිනේෂ් චන්දිමාල් (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), Sahibzada Farhan, Reeza Hendricks, පවන් රත්නායක, Gulbadin Naib, Marques Ackerman, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, විශ්ව ලහිරු, Mohammad Wasim.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Gallants කණ්ඩායම් ඉනිම ආරම්භ කළ Sam Harper සහ Nurul Hasan එක් ව පන්දු 22ක දී ලකුණු 40ක සබඳතාවක් එක් කරනවා.
Nurul Hasan පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී පළමු කඩුල්ලට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඊට පසුව පිටියට පිටියට පිවිසෙන්නේ චරිත් අසලංක.
පෙර රිද්මය ඒ ලෙසින් ම පවත්වාගෙන යෑමට ඔහු ද අනගි සහයෝගයක් ලබා දෙනවා. ඔහු 2 කඩුල්ලට දැවී යද්දී පන්දු 20ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටි අතර එම කඩුල්ලට Sam Harper හා එක් ව පන්දු 35ක දී ලකුණු 59ක සබඳතාවක් ගොඩ නගනවා.
Sam Harper ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව ඉනිමෙ වැඩිම ලකුණුලාභියා බවට පත් චාමික කරුණාරත්න පන්දු 34ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගන්නවා. එය ඔහු මෙවර තරගාවලියේ පිට පිට ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.
ඔහුට සහන් ආරච්චිගේ හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 56ක සබඳතාවක් ද ගොඩ නගනවා. සහන් ආරච්චිගේ ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දුශ්මන්ත චමීර ලකුණු 55කට කඩුලු 5ක් දවා ගත් අතර එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් මෙතෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි. ඊට අමතර ව Mohammad Wasim කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රමේෂ් මෙන්ඩිස්. ඔහු ඉනිම අවසන් වෙද්දී පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 19කට මුහුණ දෙමින් හතරෙ පහර 7ක් සමඟින් ලකුණු 32ක් ද සහ Marques Ackerman පන්දු 14ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සචිඳු කොළඹගේ ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mohammad Nawaz, ඒශාන් මාලිංග සහ Akif Javed කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle Gallants – කඩුලු 6ක් දැවී 220 (20.0) Sam Harper 41, Nurul Hasan 29, චරිත අසලංක 31, සහන් ආරච්චිගේ 28, චාමික කරුණාරත්න නොදැවී 72, දුශ්මන්ත චමීර 5/55
Dambulla Sixers – කඩුලු 7ක් දැවී 176 (20.0) නිරෝෂන් දික්වැල්ල 32, Marques Ackerman 23, රමේෂ් මෙන්ඩිස් නොදැවී 39, සචිඳු කොළඹගේ 3/17
Galle Gallants කණ්ඩායමට ලකුණු 44ක ජයක්.
තරගයේ වීරයා – චාමික කරුණාරත්න (Galle Gallants)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (27) විවේකී දිනය වන අතර නැවත තරගාවලිය හෙට (28) සිට ආරම්භ වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි. ඒ අනුව එදිනට Colombo Kaps සහ Jaffna Kings අතර තරගය පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<






















