පිටියෙන් ඉවතට හයේ පහර ගැසූ නිසා දැවී ගිය ක්‍රීඩකයා

ලෝක කුසලානයේ නෑසූ කතා (15)

494
Image Courtesy : Getty Images

1975 ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති පෘඩෙන්ෂල් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී කොදෙව් ඉනිම ආරම්භ කළේ රෝයි ෆ්‍රෙඩ්‍රික්ස් සමඟින් ගෝර්ඩන් ග්‍රිනිඡ්ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කොදෙව්වන්ටම ආවේණික ලාලිත්‍යයකින් පන්දුවට පහර දුන් පිතිකරුවන් වූහ.

වට්මෝර්ගේ නමට ලියවුණු අමුතු වාර්තාව

ඩේව් වට්මෝර් 1996 ලෝක කුසලානය දිනා ගැනීම දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට මග පෙන්වූ පුහුණුකරුවාය. 1954 වසරේ මාර්තු 16 වැනිදා……

අවසන් මහා තරගයේ බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ දැවී ගිය පළමු කඩුල්ල වූයේත් ෆ්‍රෙඩ්‍රික්ස්ය. කොදෙව් ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක් වෙද්දී ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා ඩෙනිස් ලිලී දිවවිත් යැවූ කෙටි පන්දුවකට ෆ්‍රෙඩ්‍රිකස් අලංකාර හුක් පහරක් එල්ල කළේය.

පිත්තේ හොඳින්  වැදුණු පන්දුව නැවතුණේ ප්‍රේක්ෂකාගාරයටත් ඉහළින් ගොස් අසල තිබූ සාන්ත ජෝන් පාරේය. ෆ්‍රෙඩ්‍රික්ස් එල්ල කළ පහර කෙතරම් සාර්ථකව එල්ල කළේ ද කියතහොත් පන්දු යැවූ ඩෙනිස් ලිලී පවා පුදුමයට පත්ව එය අගය කරන සෙයක් දැක ගත හැකි විය.

නමුත් පහර එල්ල කරනවාත් සමඟ රෝයි ෆ්‍රෙඩ්‍රික්ස්ට සිය පාලනය ගිලිහී ගොස් කඩුල්ල මතට ඇද වැටුණ බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පවා දැන ගත්තේ මොහොතක ඇවෑමෙන්ය. ඒ වන විට ෆ්‍රෙඩ්‍රික්ස් ලබාගෙන සිටියේ ලකුණු හතක් පමණි. ෆ්‍රෙඩ්‍රික්ස්ගේ මෙම දැවී යෑම ලෝක කුසලාන ඉතිහාසයේ එක්තරා වැදගත් සංධිස්ථානයක් වේ.

එක්දින ජාත්‍යන්තර තරගයක දී හිට් විකට් ආකාරයෙන් දැවී ගිය මුල්ම ක්‍රීඩකයා වන්නේ රෝයි ෆ්‍රෙඩ්‍රික්ස්ය.

විටෙක ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් මෙන්ම විටෙක තැන්පත් විලාශයකින් ද ක්‍රීඩා කිරීමට හැකියාවක් තිබූ ෆ්‍රෙඩ්‍රික්ස් හැත්තෑව දශකයේ කොදෙව් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙකු විය. වරක් ඕස්ට්‍රේලියාව සමඟ පර්ත් නුවර පැවති ටෙස්ට් තරගයක දී ෆ්‍රෙඩ්‍රික්ස් පන්දු 71කින් ශතකයක් වාර්තා කර ගත්තේය. ඒ වකවානුවේ ටෙස්ට් තරගයක වාර්තා වූ වේගවත්ම ශතකය වූයේ ෆ්‍රෙඩ්‍රික්ස් ලබා ගත් මෙම ශතකයයි.

1974 විස්ඩන් වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේත් රෝයි ෆ්‍රෙඩ්‍රික්ස් විසිනි. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ගයානාවේ ක්‍රීඩා, සංස්කෘතික සහ යොවුන් කටයුතු ඇමතිවරයා ලෙස ද ෆ්‍රෙඩ්‍රික්ස් කටයුතු කළේය.

​කරාටේ කිඩ් සිහිගැන්වූ කෙවින් ඕ’බ්‍රයන්

ක්‍රිකට් තරගයක කඩුල්ලක් දවා ගත් විට කරනු ලබන විවිධාකාරයේ සැමරීම් ඕනෑ තරම් අප දැක තිබෙනවා. ලෝක කුසලාන තරඟයක් අතරතුර සිදු වූ එවන් අපූරු සිදුවීමක් මේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය අතර 2015 ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණා. මෙම තරගයේ කාසියේ කාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම.

ඔවුන්ගේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ක්‍රිෂ්ණ චන්ද්‍රන් නැමති පිතිකරුවෙක්. ඔහු ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි කෙවින් ඕ’බ්‍රයන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබාම දැවී ගියා.

උඩ පන්දුව ලබා ගත් වහාම ඕ’බ්‍රයන් පාදයක් ඉහළට ඔසවා දෑත් දෙපසට විහිදුවා අමුතු ආකාරයකින් චන්ද්‍රන්ගේ දැවී යාම සමරන්නට වුනා. ඕ’බ්‍රයන්ගේ මෙම සැමරීම සුප්‍රකට ‘කරාටේ කිඩ්’ චිත්‍රපටයේ දසුනක් සැමට සිහිගන්වනු ලැබුවා.

නමුත් එදා තරගය නැරඹූ බොහෝ දෙනෙකුට මෙම සැමරීම එතරම් අමුත්තක් වුනේ නැහැ. දැවී ගිය චන්ද්‍රන්ගේ සම්පූර්ණ නම වූයේ ක්‍රිෂ්ණ චන්ද්‍රන් කරාටේ යන්නයි. එදා තරගය නැරඹීමට බ්‍රිස්බේන් නුවරට එක්ව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ ජර්සිවල පිටුපස මේ කරාටේ යන නම සටහන් වී තිබුණා. අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා මේ ගැන සෑහෙන අවධානයෙන් සිටින්නට ඇති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කළේ.

මෙම තරගය ඉතා තියුණු අවසානයට පැමිණි අතර අප කතානායක කෙවින් ඕ’බ්‍රයන් පන්දු 25ක් තුළ ලබා ගත් අර්ධ ශතකය නිසා අවසාන පන්දුවාරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලබා දුන් ඉලක්කය සපුරා ගැනීමට අයර්ලන්තයට හැකියාව ලැබුණා.

සිම්බාබ්වේ ක්‍රීඩකයා හසු වූ අවාසනාවන්ත දැවී යෑම

1996 විල්ස් ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ හයිද්‍රාබාද්හි ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගණයේ දී. පෙබරවාරි 16 වැනිදා ආරම්භ වූ මෙම තරගය  A කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරඟය වුනා. මෙම තරගයේ දී තරමක් වෙනස් ආකාරයේ අභාග්‍යසම්පන්න දැවී යෑමක් වාර්තා වුනා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ගයි විටල් ලකුණු 14ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට ලක්වුණා. මෙම දැවී යාම තරමක් මතභේදාත්මක එකක් ලෙසයි සටහන් වුනේ.

ඉයන් බිශොප් ක්‍රියාත්මක කළ සිම්බාබ්වේ ඉනිමේ විසි දෙවන පන්දුවාරයේ පන්දුවක් තර්ඩ්මෑන් කලාපයට තල්ලු කරමින් විටල් ලකුණක් ලබා ගත්තා. නමුත් තර්ඩ්මෑන් පන්දු රකිමින් සිටි ඔටිස් ගිබ්සන් එකවරම පන්දුව රැකගත්තේ නැහැ.

ඒ අවසරයෙන් විටල් තවත් ලකුණක් සොරා ගැනීමට උත්සහ කළා. නමුත් දෙවැනි ලකුණ ලබාගැනීමට යෑමේ දී විටල් පිටිය මැද ඇද වැටුණා. වෙනතක විසිවී ගිය පිත්ත පවා අමතක කර නැවත නැගිට තම සීමාව වෙත යෑමට විටල් උත්සහ කළත් එය සාර්ථක වූයේ නැහැ. ඒ වෙද්දීත් කොදෙව් කඩුලු රකින්නා කර්ට්නි බ්‍රවුන් විසින් විටල් පහසුවෙන් දුවද්දී දවාගෙන අවසන්. නමුත් සියලු දෙනා පුදුමයට පත් කරමින් විටල් තම දැවී යෑමට විරෝධය ප්‍රකාශ කරමින් දෑත් දෙපසට විහිදුවමින් පළ කළේ දැඩි අප්‍රසාදයක්.

සිදු වූයේ කුමක්ද කියා සියලුම දෙනා දැඩි වික්ෂිප්තව බලා සිටින අතරතුර රූපවාහිනී ප්‍රතිරූපණවලින් පෙන්නුම් කළේ විටල් දෙවැනි ලකුණ ලබා ගනිද්දී ඉයන් බිශොප්ගේ ශරීරයේ වැදී පා පැකිළීමකින් බිම ඇද වැටුණු බවයි. තම සිටගෙන සිටි ස්ථානය මදක් වෙනස් කළ නමුත් බිශොප් හිතාමතා විටල්ගේ ඇඟේ නොවැදුණ බවයි රූපවාහිනි ප්‍රතිරූපණවලින් දැක ගත හැකි වුනේ. ඒ අනුව විටල් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා.

මෙම තරගය පුරාවටම තමන්ට රිසි සේ පන්දුවට පහර දෙන්නට සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන්ට ඉඩකඩ ලැබුණේ නැහැ. ඒ හේතුව නිසාම සිය පන්දුවාර පනහ අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු නමයක් දැවී ලකුණු 151ක් පමණයි. තම ඉනිමේ පන්දුවාර 29.3ක දී පහසුවෙන් සිය ජයග්‍රාහී ඉලක්කය හඹායන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුනා.

තරගය පුරාවටම සිම්බාබ්වේ පිතිකරුවන්ට මහත් තර්ජනයක් වෙමින් පන්දු යැවූ කර්ට්ලි ඇම්බ්‍රෝස් තරඟයේ වීරයා බවට පත්වුනා. ඒ අනුව මෙම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු හයක පහසු ජයක් අත්වුනා.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<