අමනුල්ලාගෙන් පාපන්දු සම්මේලනයට ප්‍රබල විවේචනයක්

451
National Football Players

ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාවේ යෙදී සිටියදී ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයන් පිලිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දක්වන සැලකිල්ල පිළිබඳව තම බලවත් අප්‍රසාදය දක්වමින් රිනවුන් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා විසින් පාපන්දු සම්මේලනය වෙත දැඩි විවේචනයක් එල්ල කල ඇත.

17න් පහල තරඟාවලිය එකම අලකලංචියක්

මෑතකදී අවසන් වු, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 17න් පහල පාපන්දු තරඟාවලියේදීත්,

පසුගිය ඔක්තෝම්බර් 9වැනි දා කාම්බෝජයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ සුහද පාපන්දු තරඟයකදී තම සමාජයේ නිත්‍ය ක්‍රීඩක අෆාම් අක්‍රම්ගේ දණහිස ආබාධයට ලක්වීම සම්බන්ධයෙන් ඔහු  විශේෂයෙන්ම අදහස් දැක්විය.

“ඔහු (අෆාම්) බරපතල ආබාධයක් සහිතව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ස්කෑන් පහසුකම් සැපයීමට පාපන්දු සම්මේලනයට සති දෙකක් ගතවුණා. ඉන්පසු කිසිවක් ඔහුට ලැබුණේ නැහැ.” අමනුල්ලා කියා සිටියේ කණගාටුවෙනි.

“සම්මේලනය කියන හැටියට ඔවුන් ක්‍රීඩකයන් බලා කියාගන්නවා ලු. ඒ මෙහෙමද?” යැයි ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.

උක්ත සංචාරයට පෙර පුහුණු සැසියකදී ඥානරූබන් විනෝද්ගේ දණහිස ආබාධයට ලක්වූ අතර කාම්බෝජයට එරෙහි තරඟයට පෙර දින පුහුණුවීම් අතරතුර දිලිප් පීරිස් ද ආබාධයකට ලක්විය. තම කුළුඳුල් ජාත්‍යන්තර තරඟයට එක්වී මිනිත්තු කිහිපයක් ඇතුළත අෆාම් අක්‍රම් ආබාධයකට ලක්වූයේ තරඟයේ දෙවන අර්ධයේදීය. අෆාම් සහ දිලීප් පසුගිය වසරේදී 19න් පහල කණ්ඩායමේ ක්‍රීඩා කළ, ඉහළ මට්ටමේ පසුවන අනාගත ශ්‍රී ලංකා බලාපොරොත්තු දෙකකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කළමණාකරු මොහොමඩ් රමීස්ගෙන් ThePapare.com කල අදහස් විමසීමකදී ඔහු පවසා සිටියේ,

“අපි ස්කෑන් පරීක්ෂණයක් සිදු කළා. වෛද්‍යවරු කීවේ ඔහුව (අෆාම්) දෙවන වරටත් පරීක්ෂණ කටයුතු වලට භාජනය කළයුතු බවත් අනෙක් දෙදෙනාට ශල්‍යකර්ම සිදුකිරීමටත් අවශ්‍ය බවයි.”

මෙම සිද්ධිය සිදුවූයේ ඔක්තෝම්බර් මස දෙවන සතියේ සිට තෙවන සතිය දක්වා අතර කාලයකදී වන අතර මේ වන විට එයට සති 3ක් පමණ ගතවී ඇතත් කිසිවෙකු ශල්‍යකර්මයකට ලක් කොට නැත.

ThePapare.com විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී යූ. එල්. ජස්වර් ගෙන්ද විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

“ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක් තිබෙන නමුත් ස්කෑන් පරීක්ෂණය සඳහා රෝහල්ගත වීමේ මූලික අවස්ථාවේදී හරි විදිහට රක්ෂණ ක්‍රියාවලිය අනුගමනය කර නැති නිසයි මේ ප්‍රමාදය. නමුත් අපි මේ සතියේදී අදාළ ශල්‍යකර්මය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරනවා.”

කෙසේවෙතත් වරද සිදුවී ඇත්තේ පාපන්දු සම්මේලනය පැත්තෙන් බව පැහැදිලි වන අතර ඉන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අසාධාරණයට ලක්වූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයන් දෙදෙනෙකි.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට