කොදෙව්-එංගලන්ත කාසියේ වාසිය සිනහවකින් කෙළවර වෙයි

5933

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) දිනයේ දී ආරම්භ වූයේ සවුත්ඇම්ප්ටන් හී ඇගියස් බෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමිනි.

ලංකාවෙන් ඉගෙන ගෙන එංගලන්ත පිතිකරුවා බර අඩුකරන්

පුරා මාස තුනකට අධික කාලයක්  මුළුල්ලේ පැවති දීර්ඝ නිහැඬියාවට සමුදෙමින් දියත් කෙරෙනා මෙම තරගාවලියේ කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාව අතරතුර දී කැමරා කාචයේ සටහන් වූ හාස්‍යජනක සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබෙන්නේ නරඹන්නන් සියල්ලන්ගේම මුවඟට සිනහවක් ද රැගෙන එමිනි.

තරග ආරම්භයට පෙරාතුව කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනා කාසිය වාසිය තමන් සතු කරගැනීමේ අරමුණින් පිටියට පිවිසි අතර තරමක වෙනස් සෞඛ්‍යාරක්ෂක නීති මාලාවක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ක්‍රීඩකයින් හට අතට අත දීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙස කල්තියාම උපදෙස් ලබා දී තිබුණේ සැමගේම ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ගනිමිනි.

නමුත් කොදෙව් නායක ජේසන් හෝල්ඩ්ර් හට ලබා දුන් එම උපදෙස මොහොතකට අමතක වී තිබුණේ ප්‍රතිවාදී නායක බෙන් ස්ටොක්ස් හට අතට අත දීම සඳහා ඔහුගේ දෑත දිගු කිරීමත් සමඟිනි.

තම වැළමිට දිගු කරමින් ඊට ප්‍රතිචාර දැක්වූ නායක ස්ටොක්ස් සිනහව ඉතාමත් අසීරුවෙන් නවතා ගත්තේ එම අවස්ථාව නැරඹූවන් ද සිනහ සයුරේ ගිල්වමිනි. මාධ්‍ය කුටියේ සිට නායකයින් සමඟ කතාබහක නිරත වූ විචාකරයින් ද හඬ නඟා සිනාසෙමින් කියා සිටියේ හැකිතාක් ඉක්මනින් ක්‍රීඩාගාරයට ගොස් දෑත් පිරිසිදු කරගෙන පැමිණෙන ලෙසටයි. 

එංගලන්ත – පාකිස්තාන සටනේ තරග කාලසටහන එළියට

ගත වූ මාස කිහිපය තුල සමස්ත යුරෝපාකරයම ආක්‍රමණය කරමින් ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර ගිය COVID-19 වසංගතය මේ වන විට යම්තාක් දුරකට හෝ පාලනය කරගැනීමට බොහෝ රටවල් සමත් වී තිබෙන්නේ අතහැර දැමූ ක්‍රීඩා ඉසව් රැසක්ම යලි දියත් කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙමිනි. 

එහි දී ක්‍රීඩකයින්ගේ මෙන්ම තරග නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩාලෝලීන්ගේ ද ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිසාවෙන් ජෛව ආරක්ෂණ නීතී මාලාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් හුදකලා ක්‍රීඩාංගණයන්ගේ තරග පැවැත්වීමට සංවිධායකවරුන් පියවර ගෙන තිබේ. 

මීට අමතරව කඩුල්ලක් දැවී ගිය විට එය සැමරීම සඳහා ක්‍රීඩකයින් රැස්විය යුතු ආකාරයේ සිට සතුට සැමරිය යුතු ආකාරය දක්වා නොයෙකුත් ක්‍රියාකලාපයන් සඳහා සීමාවන් පැනවීමට ICCය පියවරගෙන ඇති අතර එය තරමක නුහුරු අත්දැකීමක් නිසාවෙන් ඊට අනුගත වීම ඉතාමත් අභියෝගාත්මක බව බොහෝ ක්‍රීඩකයින් ද මේ වන විට අදහස් පළකොට තිබේ.

මේ අතර පළමු ටෙස්ට් තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක ස්ටෘවට් බ්‍රෝඩ්ගේ සේවය ලබා නොගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණයකොට තිබෙන්නේ නවක ක්‍රීඩක මාර්ක් වුඩ් හට දක්ෂතා පෙන්වීම සඳහා අවස්ථාවක් ලබා දීමේ අරමුණෙනි. 2012 වසරේ සිට මේ දක්වා එරට තුල ක්‍රියාත්මක වූ සෑම ටෙස්ට් තරගයක් සඳහාම බ්‍රෝඩ් ක්‍රීඩා කොට තිබීම වඩාත් කැපී පෙනෙන කාරණාවකි.

“කොරෝනා වලට පහර දිය යුත්තේ පන්දුවට පහර දෙන ආකාරයටයි” – BCCI සභාපති

දෙවන වරටත් පිය පදවිය අපේක්ෂාවෙන් සිටි එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ජෝ රූට් පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී නොවන බව දැනුම් දීමත් සමඟම උපනායක බෙන් ස්ටොක්ස් හට කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර වගකීම පැවරුණු අතර තම කණ්ඩායමේ ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු විවේක ගන්වමින් නවකයෙකු හට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.

“වළාකුළු වලින් බර අහසක් තිබුනත් තණතිල්ල තරමක් වියළි ස්වභාවයක් ගන්න නිසා අපේ තීරණය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මතු වුනේ නැහැ. ලොකු ඉපිලීමක් සහ වේගයක් අපේක්ෂා කරන්න බැහැ වගේම මේ තණතීරුව පරණ වෙන්න දඟපන්දු යවන්නට වාසි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බ්‍රෝඩ්, වෝක්ස් දෙන්නවම විවේක ගන්වන්න ගත්ත තීරණය ඇත්තටම අපි හැමෝටම අමාරු එකක් වුනා. නමුත් මට විශ්වාසයි ඒ දෙන්නගේ අඩුව පුරවන්න ආචර්ගේ සහ වුඩ්ගේ දක්ෂ පන්දු යැවීම්වලට පුළුවන් වෙයි කියලා.”

“මුලින්ම පන්දු යවන්න ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන තත්වයත් එක්ක වේගපන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපිට ඉන්නවා හොඳ වේගපන්දු බලඇණියක්. ඒ වගේම දඟපන්දුවෙන් සහය දක්වන්න චේස් සූදානමින් ඉන්නවා. හොඳ විනයක් ඇතිව ක්‍රීඩා කළොත් ඒක තමයි තරගයේ ජය පැරදුම තීරණය කරන ප්‍රබලතම සාධකය වෙන්නෙ. 

පහුගිය දින කිහිපයේ අපි නවාතැන් ගත්ත හෝටලයෙන් පිටතට යන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අපි හොඳින් පෙර සූදානම් වුනා කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ද තරගය සම්බන්ධයෙන් තම අදහස් පළ කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<