Brian Lara, Bret Leeගෙන් සංගාට පැසසුම්

ICC Hall of Fame 2021

207

ශ්‍රී ලංකා කණ්ඩායම බිහි කළ විශිෂ්ඨතම වමත් පිතිකරුවා ලෙස සැලකෙන කුමාර් සංගක්කාර පිළිබඳව හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක Brian Lara පසුගිය දා අදහස් දක්වා සිටියා.

කුමාර් සංගක්කාර පසුගිය ICC Hall of Fame නාමාවලියට නම් කෙරුණු අතර එයට සුබ පතමින් Brian Lara පවසා සිටියේ කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ කාලය තුල ඕනෑම තත්ත්වයක් යටතේ ඕනෑම පන්දු බලඇණියකට එරෙහිව ක්‍රීඩා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔහුට තිබූ බවයි.

පසුගිය දා පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අතරතුර විස්තර විචාරය සඳහා Star Sports සමඟින් එක්වෙමින් Brian Lara මෙලෙස අදහස් දක්වා සිටියා. 

“වෙනත් පිතිකරුවන් වගේ නෙමෙයි කුමාර් සංගක්කාරට ඕනෑම තත්ත්වයක් යටතේ ලෝකේ ඕනෑම කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කරන්න හැකියාවක් තිබුණා. විශේෂයෙන් ඔහු දස්කම් දැක්වුවේ ඔහුගේ රටේ දී විතරක් නෙමෙයි. ඕනෑම රටක දී ඔහු දක්ෂ ලෙස ක්‍රීඩා කළා. කුමාර් සංගක්කාර අවස්ථා ගණනාවක දී මාව මවිතයට පත්කළා. විශේෂයෙන් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔහු ඕස්ට්‍රේලියාවේ පැවති 2015 ලෝක කුසලාන තරගාවලියේ දී පිට පිට තරග 4ක දී ශතක 4ක් වාර්තා කරපු අවස්ථාව. ඒක විශ්වාස කරන්න අමාරු දෙයක්. විශ්මිත දස්කමක්” කුමාර් සංගක්කාර Hall of Fame නාමාවලියට එක්වීම පිළිබඳව සිය සුබ පැතුම් එක් කරමින් Brian Lara පවසා සිටියා.

මීට අමතරව හිටපු ඕස්ට්‍රේලියානු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වූ Bret Lee ද කුමාර් සංගක්කාර පිළිබඳව අදහස් දක්වා තිබුණා. ඔවුන් දෙදෙනා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Kings XI Panjab නියෝජනය කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“මම මේක අවස්ථාවක් කරගන්නවා කුමාර් සංගක්කාරට සුබ පැතුම් එක් කරන්න Hall of Fame නාමාවලියට ඇතුළත් වීම ගැන. ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. අපි ඕනෑ තරම් තරගවල දී ප්‍රතිවාදීන් විදිහට ක්‍රීඩා කරලා තියනවා. තරගය අතරතුර විතරක් නෙමෙයි තරගයෙන් පිටතත් ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙක්. 

හදවතින්ම ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ටෙස්ට් ක්‍රීඩාව කියන්නේ ඒකට. ටෙස්ට් විතරක් නෙමෙයි සෑම ආකෘතියකම ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. අපි පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kings XI Punjab කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒ 2008 දී. විශිෂ්ඨ ක්‍රීඩකයෙක්, විශිෂ්ඨ පුද්ගලයෙක්. මගේ සුබපැතුම් මිත්‍රයා. මේක සමරන්න මම බලාගෙන ඉන්නවා.” Bret Lee පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් Hall of Fame නාමාවලියට එක්වු පළමු ක්‍රීඩකයා වූයේ මුත්තයියා මුරලිදරන්. 

ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව එතෙක් මෙතෙක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල එක් එක් කාලවකවානුවල දී දැක්වූ දස්කම් මත පදනම්ව මෙලෙස Hall of Fame සඳහා ක්‍රීඩකයන් නම් කර තිබුණා. ඒ අනුව 2010-2015 කාලය තුල දැක්වූ දක්ෂතා හේතුවෙන් කුමාර් සංගක්කාර මෙම නාමාවලියට නම් කෙරුණා. 

කුමාර් සංගක්කාර ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුල වාර්තා රැසකට හිමිකම් කියනවා. අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකර ගිය ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාර එහි දී වාර්තා කර ඇති ලකුණු සාමාන්‍ය 57.40ක්. ලකුණු 10000 පසුකර ගිය ක්‍රීඩකයන් අතරින් වැඩිම සාමාන්‍ය හිමි ක්‍රීඩකයා ද ඔහුයි. ටෙස්ට් ශතක 38කට හිමිකම් කියන ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 11ක් වාර්තා කර ඇත්තේ සර්. ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වෙමින්.

කුමාර් සංගක්කාර Hall of Fame නාමාවලියට නම් කිරීමට සමගාමීව ඔහුට පිරිනැමෙන සුවිශේෂී සමරුව පසුගිය දා හිටපු ඉන්දීය ක්‍රීඩක Sunil Gavaskar විසින් පිරිනමනු ලැබුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<