නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

90
SAM CANE

නිමාව දුටු රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව All Blacks කණ්ඩායමේ නිත්‍ය නායක කිරන් රීඩ් එම ධූරයෙන් සමුගැනීමට තීරණය කර තිබුනේ නායකත්වයේ සුක්කානම තරුණ පරම්පරාවේ දක්ෂයෙකු අතට භාරදීමේ අරමුණෙනි. 

හැඟුම්බර සමුගැනීම් මධ්‍යයේ නවසීලන්ත රණශූරයින් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන

ඒ අනුව දිගු කලක සිට නවසීලන්ත රග්බි කණ්ඩායම නියෝජනය කරමින් තරග දිනවන්නෙකු ලෙස කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ‘ලූස් ෆෝවර්ඩ්’ ක්‍රීඩක සෑම් කේන් හට එම භාරධූර වගකීම පැවැරීමට නවසීලන්ත රග්බි කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. 

නායකත්ව ගුණාංගයන් පිරිපුන් සටන්කාමි චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන සෑම් කේන්, All blacks වර්ණයන්ගෙන් සැරසී එදාමෙදා තුර තරග 68ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 48ක දීම තරග ආරම්භයේ දී ඔහු තම දායාකත්වය ලබාදී තිබේ. අයර්ලන්තයට එරෙහිව 2002 වසරේ දී තම මංගල අන්තර්ජාතික තරගය ක්‍රීඩා කරන විට ඔහුට වයස අවුරුදු විස්ස සම්පූර්ණ වූවා පමණි. 

නායකත්ව පදවිය කේන් හට හිමි වීම සම්බන්ධයෙන් සතුටට පත් All Blacks ප්‍රධාන පුහුණුකරු ඉයන් ෆොස්ටර් මහතා සඳහන් කර සිටියේ මෙවැනි බරක් කර මතට ගැනීමට කණ්ඩායමේ දැනට සිටින ක්‍රීඩකයින් අතුරින් සුදුසුම පුද්ගලයා කේන් බවයි. 

“ඔහුට කළ යුතු දේ සහ නැති දේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම මට හැඟුණු තව දෙයක් තමයි කේන්ට සහජයෙන්ම ආපු හැකියාවක් තියෙනවා, පිරිසක් එකට එකතු කරලා පොදු අරමුණක් වෙනුවෙන් ඔවුන් සියලුදෙනාවම රැගෙන යන්න. All Black කෙනෙක් විදියට ඔහුට දැන් අවුරුදු අටක පළපුරුද්දක් තියෙනවා. ඒ තියෙන අත්දැකීම් සමූදායම ඇති ඔහුට ලොකු වෙනසකට මුල පුරන්න.” 

Bill Beaumont නැවතත් සභාපති ධූරයට

ලෝක රග්බි සම්මේලනයේ නව සභාපති තෝරාගැනීම සඳහා වන

COVID-19 වසංගතය නිසාවෙන් මේ වන විට ප්‍රධාන පෙළේ රග්බි තරග සියල්ලම පාහේ තාවකාලිකව නතර කර දමා ඇති මොහොතක, නවසීලන්ත රග්බි කණ්ඩායම එම ලැබුනු කාලසීමාවෙන් ද උපරිම ඵල නෙලා ගැනීමට වෑයම් කරන බව පෙනී ගියේ නායකත්වය පිළිබඳව තිබූ ප්‍රශ්නාර්ථයට ද නිසි පිළිතුරක් ලබා දෙමිනි. 

“අපි කලින් ඉඳන්ම මේ ගැන අවසන් තීරණයකට එළැඹිලයි තිබුනේ. නමුත් අපි හරි වෙලාව එනකන් හිටියා නිල වශයෙන් මේ පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න. අනාගතයේ දී නොයෙක් ප්‍රශ්න, ගැටළු, අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවේවි. ඒ හැම දේකටම නොබියව මුහුණ දෙන්න අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමයි මේ මොහොතේ දී වැදගත් වෙන්නේ. සෑම් තමයි ඒකට සුදුසුම පුද්ගලයා.” 

All Blacks වැනි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන කණ්ඩායමක් මෙහෙයවීමට ලැබීම තම දිවියේ මෙතෙක් අත්විඳි විශාලතම ගෞරවය වන බව සෑම් කේන් සඳහන් කර සිටියේ නායකත්ව ධූරය හිමි වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

“ඉදිරියේ දී මුහුණ දෙන්න සිදුවෙන ඕනෑම අභියෝගයකට මමත් මගේ කණ්ඩායමත් හොඳ සූදානමකින් පසුවෙනවා. All Blacks ජර්සිය පැළඳගෙන ක්‍රීඩා කරපු හැම මොහොතක්ම, ක්‍රීඩකයෙකු විදියට මේ තරම් ලොකු ගමනක් එන්න මට සෑහෙන උදව් වුනා. නායකත්වය කියන දේ කිසිම වෙලාවක අමතර පීඩනයක් කරගත යුතු නැහැ. අපි රග්බි පිටියට පය තියන ඕනෑම වෙලාවක උත්සාහ කරන්නේ ක්‍රීඩාව උපරිමයෙන් විඳින්න.” 

ශ්‍රී ලාංකික රග්බි පුරාවෘත්තය ‘බණ්ඩේ’

පසුගිය දා ThePapare.com විසින් තම ප්‍රියතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතය

“මම දකින තවත් දෙයක් තමයි All Blacks කණ්ඩායමේ ඉන්න පරිණත, අත්දැකීම් බහුල, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් ලැබෙන සහයෝගය කණ්ඩායමේ ඉදිරි ගමනට ගොඩක් අවස්ථාවන් වලදී විශාල වශයෙන් වැදගත් වෙලා තියෙනවා. මට ගුරුහරුකම් ලබාගන්න පුළුවන් විශිෂ්ට නායකයෝ කිහිපදෙනෙක්ම කණ්ඩායමේ ඉන්නවා. ඊට අමතරව මේ තනතුරේ බැරූරුම්කම දන්න හිටපු නායකයින් පිරිසකගේ ද උදව් උපකාර නිරන්තරයෙන් මටත් කණ්ඩායමත් ලැබෙන ඒක ලොකු හයියක්.” 

කේන් මින් පෙර අවස්ථාවන් ත්‍රිත්වයක දීම නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇත. ඔහු All Blacks කණ්ඩායමකට නායකත්වය ලබාදුන් පස්වැනි ලාබාලම ක්‍රීඩකයා ලෙස ඉතිහාස පොත් අතරට එකතු වී ඇත්තේ 2015 වසරේ ලෝක කුසලාන රග්බි තරගාවලියේ දී නැමීබියාවට එරෙහිව පැවති තරගයකට තම සේවය ලබා දෙමිනි. ඒ වන විට කේන්ගේ වයස අවුරුදු 23කි. මීට අමතරව පිළිවෙලින් 2016 සහ 2019 වර්ෂයන්හි දී ඉතාලිය සහ අර්ජන්ටිනාව යන කණ්ඩායම් වලට එරෙහිව තම කණ්ඩායම හසුරවමින් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ද ඔහු සමත් වී තිබේ. 

“නායකත්වය ලැබීමත් එක්ක මගේ සුපුරුදු ක්‍රීඩා ශෛලයේ වෙනසක් සිදුවේවි ද කියන එක දැනටමත් ගොඩක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වෙලා. මට කියන්න තියෙන්නේ මේ මම. මම කිසිම වෙලාවක මට ආවේණික තරග රටාවෙන් අත්මිදිලා ලොකු වෙනස්කම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මට අවශ්‍යයි මගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ක හොඳ සබඳතාවන් ගොඩනඟා ගන්න. විශේෂයෙන්ම යොවුන් ක්‍රීඩකයින් සමඟ.” 

“අපිට මේ තියෙන වාතාවරණයත් එක්ක හරියටම කියන්න අමාරුයි මේ අවුරුද්දේ මොන වගේ විදියට තරග සැලසුම් සකස් වෙයි ද කියලා. ඒ මොනවා වුනත් මමත්, මගේ කණ්ඩායමත්, අපේ පුහුණුකරුවන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ එකතු වෙලා ඉදිරියේ දී හොඳ, සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.”  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<