සදීෂ සහ හිරාන් ශතක අතරට; මනුල සහ සුපුන්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය 2022

337

වයස අවුරුදු 19න් පහළ පාසල් දෙදින සුහද ක්‍රිකට් තරග කිහිපයක් අද (26) ක්‍රියාත්මක වුනා. ඒ අතරින් නිමාවුණු තරගවල දී ත්‍රිත්ව – නාලන්දා තරගයේ වැඩි වාසිය ත්‍රිත්ව විද්‍යාලය සතු වෙද්දී, සාන්ත ජෝසප් – සාන්ත බෙනඩික්ට් තරගයේ වැඩි වාසිය සාන්ත ජෝසප් විද්‍යාලය සතු වුනා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ – නාලන්දා විද්‍යාලය අතර සංගා – මහේල අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ආරම්භයේ දී ම ත්‍රිත්ව පළමු ඉනිම ලකුණු 275කට සීමා වුනා. එහි දී රවීන් ද සිල්වා කඩුලු 5ක දක්ෂතාවයක් පෙන්නුම් කළා.

අනතුරුව පිළිතුරු පළමු ඉනිම දියත් කළ සත්කාරක නාලන්දා පළමු ඉනිම ලකුණු 143කට සීමා කිරීමට මනුල කුලරත්න ඇතුළු ත්‍රිත්ව පන්දු යවන්නන් සමත් වුනා.

එහි දී වමතින් වේගපන්දු යවන මනුල සුපිරි පන්දුකරණයක නිරත වෙමින් ලකුණු 68කට කඩුලු 6ක් දවා ගත්තා. එරංග ජයකොඩි නාලන්දා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ ලකුණු 46ක් ලබාගෙනයි. දිනුක තෙන්නකෝන් කඩුලු 3ක් සඳහා හිමිකම් කියනු ලැබුවා.

ලකුණු 132ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව නැවත වරක් පිතිකරණයේ නිරත වුනු නාලන්දා විද්‍යාලයට දැඩි අභියෝගයක් එල්ල කරන්නට ත්‍රිත්ව පන්දු යවන්නන් සමත් වුනා.

එහි දී ඔවුන් මනුලට එරෙහිව ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් නමුත් මේ ඉනිම තුල නාලන්දා පිතිකරුවන් වැඩි දෙනෙක් දවා ගැනීමට සමත් වුනේ සුපුන් වඩුගේයි. ඔහු නාලන්දා දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 46කට දවා ගත්තා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක විනුජ රන්පුල් (ලකුණු 67) දියත් කළ සටන්කාමී පිතිකරණය නිසාවෙන් නාලන්දා විද්‍යාලයට ඉනිමක පරාජයෙන් බේරී යම් ගෞරවාන්විත ලකුණු සටහනක් වෙත අවතීර්ණ වීමට හැකි වුනා.

සාන්ත ජෝසප් – සාන්ත බෙනඩික්ට් තරගයේ දෙවැනි දිනයේ දී සිය ශතක ඉනිම ලකුණු 156ක් දක්වා රැගෙන යන්නට සාන්ත බෙනඩික්ට් නායක පසන් සුවහස් හට හැකි වුනා. පන්දු යැවීමේ දී ශෙවෝන් ඩැනියල් කඩුලු 4ක් දවාගෙන සාන්ත බෙනඩික්ට් පළමු ඉනිම ලකුණු 242කට සීමා කිරීමට සහය වුනා.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාල දෙවැනි සහ අවසන් දිනය අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 280ක් ලබාගෙන මේ තරගයේ පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තා.

එහි දී දක්ෂ පිතිකරණ විලාසයක් පෙන්නුම් කළ හිරාන් ජයසුන්දර නොදැවී ලකුණු 106*ක් ලබා ගන්නා විට, මුදිත ලක්ෂාන් (ලකුණු 56*) සහ නායක ශෙවෝන් (ලකුණු 55) අර්ධ ශතක ලබා ගත්තා.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සදීෂ රාජපක්ෂගේ ශතකයෙන් වර්ණවත් වුනු තර්ස්ටන් – රාජකීය ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට රාජකීය විද්‍යාලය ලකුණු 92ක පළමු ඉනිමේ වාසියක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණයි. පන්දු යැවීමේ දී රාජකීය නායක ගිශාන් බාලසූරිය කඩුලු 4ක් දවා ගන්නා විට, වෙනුශ අකාෂ් කඩුලු 3ක් දවා ගත්තා.

ත්‍රිත්ව විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය

  • කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 275 (80): රනුද සෝමරත්න 91, රහල් අමරසිංහ 75, මනුල කුලරත්න 30*. විදුක ධම්මගේ 23, රවීන් ද සිල්වා 5/106, ලිසුර සිගේරා 2/26.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 143 (39.4): එරංග ජයකොඩි 46, රවීන් ද සිල්වා 27, දිනෙත් සමරවීර 25, මනුල කුලරත්න 6/68, දිනුක තෙන්නකෝන් 3/23 සහ 153/7 (51): විනුජ රන්පුල් 67, සුපුන් වඩුගේ 5/46.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 242 (93.4): පසන් සුවහස් 156, ශාරුජන් ශන්මුගනාදන් 30, ශෙවෝන් ඩැනියල් 4/35, කවීන් පතිරණ 3/67, ශෙවෝන් ඩැනියල් 2/25.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 280/3 (80): හිරාන් ජයසුන්දර 106*, මුදිත ලක්ෂාන් 56*, ශෙවෝන් ඩැනියල් 55, සදීෂ් ජයවර්ධන 35, නරේන් මුරලිදරන් 20.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

රාජකීය විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

  • කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 114 (33.5): උපුල් හෙට්ටිආරච්චි 32*, අසීම් මොහොමඩ් 27, ගිශාන් බාලසූරිය 4/33, වෙනුෂ අකාෂ් 3/22.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 206/4 (44): සදීෂ රාජපක්ෂ 103, සන්විඳු සෙනරත්ආරච්චි 43, Sසිනෙත් ජයවර්ධන 22.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (27) ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<