Bill Beaumont නැවතත් සභාපති ධූරයට

71

ලෝක රග්බි සම්මේලනයේ නව සභාපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සතියේ දී පැවැත්විය. එහි දී හිටපු ආජන්ටිනාවේ නායක Agustin Pichot පරාජය කරමින් එංගලන්තයේ හිටපු නායක Bill Beaumont ලෝක රග්බි සභාපති ලෙස නැවත තේරී පත් වූ බව පාලක මණ්ඩලය සෙනසුරාදා (02) නිවේදනය කළේය.

ක්‍රීඩාව නැවත නව මට්ටමක් කරා ගෙන එන බව තම ඡන්ද පොරොන්දුවක් ලෙස භාවිතා කළ සර් Bill Beaumont 68 හැවිරිදි වියේ පසුවෙයි. පසුගිය වසර 4ක කාලය තුල රග්බි සභාපති වූයේ ද ඔහුය. 

ඔහුගේ ප්‍රතිවාදීයා වූ 45 හැවිරිදි හිටපු උප සභාපති Agustin Pichot ද ඔහුගේ නව සැලසුම් කීපයක් ඉදිරිපත් කර තිබුණි. සර් Bill Beaumont ඡන්ද විමසීම සඳහා වූ ඡන්ද 51න් 28ක් ලබා ගැනීමට සමත් විය. Agustin Pichot ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය #GlobalGame නම් හැෂ් ටැගය සමාජ මාධ්‍යවල භාවිතා කළේය.

ලෝක රග්බි මුල් පුටු ගැටුම ඉතාමත් උණුසුම් වෙයි!

පසුගිය සිව් වසර තුළ, ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රධානියා වූයේ හිටපු එංගලන්ත 2nd Row …………..

“නැවත වරක් ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති ලෙස සේවය කිරීමට ලෝක රග්බි කවුන්සිලය ලබා දුන් වරම පිළිගැනීමට ලැබීම මට ගෞරවයක්. මගේ වෘත්තීය සමිති හා කලාපීය සගයින්ට, ගෝලීය රග්බි පවුලේ සාමාජිකයින්ට සහ ඇත්ත වශයෙන්ම මගේ පවුලට ඔවුන්ගේ පූර්ණ සහයෝගය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා” ලෝක රග්බි විසින් නිකුත් කරන ලද නිවේදනයක දී සර් බිල් බියුමාන්ට් පැවසීය.

මීට පෙර සැලසුම් කර තිබූ පරිදි ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබුණේ මැයි මස 12 වැනිදාය. නමුත් මෙවර ඡන්ද විමසීම සඳහා භාවිතා කළ සුමට ක්‍රියාවලිය නිසා එහි ප්‍රතිඵලය සැලසුම් කර දිනට පෙර නිකුත් කිරීමට හැකි වූ බව රග්බි සම්මේලනය පවසා ඇත.

තවත් සිව් අවුරුදු ධුර කාලයක් සඳහා සභාපති ලෙස පත්වූ සර් බිල් බියුමාන්ට්ගේ උප සභාපති ලෙස ප්‍රංශ රග්බි සම්මේලනයේ ප්‍රධානී බර්නාඩ් ලැපෝර්ට් එක්වනු ඇත.

“මගේ මිතුරා ශ්‍රීමත් Bill Beaumont නැවත තේරී පත්වීම ගැන සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම ආජන්ටිනාවේ රග්බි ක්‍රීඩාවේ පුරාවෘත්තයක් සහ විශිෂ්ට රග්බි නායකයෙකු වන Agustin Pichot වෙත මාගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි” යනුවෙන් 2023 රග්බි ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ප්‍රංශ රග්බි සම්මේලනයේ සභාපති වන ලැපෝර්ට් පැවසීය.  2023 රග්බි ලෝක කුසලානය ඔහුගේ අධීක්ෂණය මත පැවැත්වීමට නියමිතය. 

“මෙම වැදගත් ඡන්ද විමසීමේ දී තම මතය ප්‍රකාශ කළ සියලුම වෘත්තීය සමිතිවලට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් බිල් සහ මම විසින් ගනු ලබන පාලනය සඳහා පැහැදිලි වරමක් ලබා දී තිබෙනවා.” 

ෆීජි රග්බි සංගමයේ (FRU) සභාපති ෆ්‍රැන්සිස් කීන් ලෝක රග්බි සම්මේලනයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම මැතිවරණ ක්‍රියාවලිය යටපත් වී තිබුණි.

සර් බිල් බියුමාන්ට ඉදිරිපත් කළ සැලසුම් පැසිෆික් දූපත් සංගමය විසින් අනුමත කරන ලද නමුත් ලෝක රග්බි සම්මේලනය අවධාරණය කළේ පෙර එල්ල වූ පීඩනය එල්ල වූයේ කීන්ගෙන් නොව ෆීජි රග්බි සම්මේලනය වෙතින් බවයි.

සර් Bill Beaumont එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 41ක් සඳහා ක්‍රීඩා කර ඇති අතර ඔහු British and Irish Lions කණ්ඩායම් ද නියෝජනය කර ඇත. 1982 වසරේ දී රග්බි ක්‍රීඩාවට සමුදෙන Bill Beaumont පසුගිය කාලය තුල කොරෝනා වයිරසය නිසා බිඳවැටෙන රග්බි ක්‍රීඩාව නැවත නඟාසිටුවීම සඳහා ඩොලර් මිලියන 100ක සහන පැකේජයක් ගොඩනැගීමට සමත් විය.

ඇමරිකා එක්සත් ජනපදයේ රග්බි සම්මේලනය පසුගිය මාර්තු මාසයේ දී බංකොලොත් භාවය සඳහා වාර්තා ගොනු කර ඇති අතර ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනය ද පවසා ඇත්තේ වයිරසය හේතුවෙන් ඔවුන්ගේ ඉතිරි කාලය තුල තරග පැවැත්වීමට නොහැකි වුවහොත් එම සම්මේලනයට ඕස්ට්‍රේලියා ඩොලර් මිලියන 120ක ආදායමක් අහිමි වන බවයි.

රග්බි ගොඩනගන සැලසුම් ගැන Agustin Pichot කතා කරයි

වසර 4කට වරක් පැවැත්වෙන ලෝක රග්බි සම්මේලනයේ මුල් පුටුව සඳහා වන ඡන්ද විමසීමට ………….

“මෙම පෙර නොවූ විරූ හා ගෝලීය COVID-19 අර්බුදය තුළ, සැමට ශක්තිමත් හා තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා පොදු අරමුණක් වටා උතුරු හා දකුණේ රග්බි සම්මේලන හා වෘත්තීය ලීග් සියල්ල එක්විය යුතුයි” සර් Bill Beaumont පවසා සිටියා.

“අපි මෙම ප්‍රතිසංස්කරණ එකට ගෙන රග්බි පවුල සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාව පිටියේ දී සහ ඉන් පිටත දී ඉදිරියට ගෙන යෑමට වගේම අපගේ ක්‍රීඩකයින්ගේ සුබසාධනය තවදුරටත් වර්ධනය කර ක්‍රීඩාව වඩාත් ආකර්ෂණීය හා ප්‍රවේශ විය හැකි වනු ඇත.” 

මීට වසර 11කට පෙර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් 2016 සිට ලෝක රග්බි උප සභාපති ලෙස කටයුතු කළ ආජන්ටිනා ක්‍රීඩක Agustin Pichot, අනාගතයේ දී නැවතත් ප්‍රධාන තනතුර සඳහා උත්සාහ කරන බවට ඉඟි කළේය.

“එය මේ වතාවේ නොවේ. සියලු දෙනාගේම සහයෝගයට මගේ හදවතින්ම ස්තූතියි. #GlobalGame” ලෙස Agustin Pichot සෙනසුරාදා ඔහුගේ Twitter ගිණුමේ පළ කර තිබුණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<